brand logo

කොට්ටාවේ සිට පිටකොටුවට උඩින් යන විදුලි කාර්

21 January 2020

කොට්ටාව සිට පිටකොටුව දක්වා කණු මතින් දිවෙන විදුලි කාර් සේවාවක් ආරම්භ කිරීමට ව්‍යාපෘති වාර්තාවක් චීනය මගින් ආණ්ඩුවට ලබාදී ඇත. චයිනා රේල්වේ ගෲප් ලිමිටඩ් ආයතනය විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ලබාදී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීරටය. උස අඩි 17ක් වන කණු මත කිලෝමීටර් 22ක් දුරට මාර්ගය නිර්මාණය වන අතර වායු සමීකරණය කරන ලද විදුලි කාර් ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සෑම විනාඩි පහකට වරක්ම විදුලි කාරයක් ධාවනය වන අතර මගීන් දසදෙනකුට පමණ එක්වර එහි ගමන් කළ හැකි බව එම ව්‍යාපෘති වාර්තාවේ සඳහන් වෙයි. විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් සූරිය බලයෙන්ද විදුලි කාරය ධාවනය කළ හැකි වෙයි. වසර එකහමාරක් ඇතුළත මාර්ගය ඉදිකර අවසන් කිරීමට සමාගම බලාපොරොත්තු වෙයි. හයිලෙවෙල් මාර්ගයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස පරිසර හිතකාමී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත. ඇමැති මණ්ඩලය දැනුවත් කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇමැති මහින්ද අමරවීර පවසයි. උදයජීව ඒකනායක
 

More News..