brand logo

කොටන් ඇදපු අලි අමතක කර රනිල් පොදු පෙරමුණට සලකයි

23 September 2020

2001 වසරේ දෙසැම්බර් මස 5 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අනතුරුව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සකස් කරන ලද්දේ මහනුවර පිහිටි මලික් සමරවික්‍රම මහතාගේ නිවසේ සිටය. ඒ සඳහා සහභාගි වී තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම මහතා පමණය. එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය තරමක් ප්‍රමාද වී මලික් සමරවික්‍රමගේ නිවසට යන විටත් අමාත්‍ය මණ්ඩලය තෝරා අවසන් කර තිබුණි. පොදුජන එක්සත් පෙරමුණෙන් එජාපයට එක්වූ බහුතරයකට කැබිනට් අමාත්‍ය ධුර ලබාදී තිබුණේ ඔවුන්ගේ ඉල්ලීම් මතය. ඒ අනුව එස්. බී. දිසානායකට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍ය ධුරයත්, මහින්ද විජේසේකරට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරයත්, ජී. එල්. පීරිස්ට, බන්දුල ගුණවර්ධනට හා ආරුමුගම් තොණ්ඩමන්ට ඔවුන් ඉල්ලා සිටි අමාත්‍ය ධුර ලබාදීමටත් එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබුණි. එමෙන්ම එජාපයේ ප්‍රබලයන් වූ කරු ජයසූරියට, ගාමිණී ලොකුගේ හා ගාමිණී අතුකෝරළටද ඔවුන් ඉල්ලූ අමාත්‍ය ධුරම ලබාදීමට කටයුතු කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ එජාප ආණ්ඩුවක් බිහිකිරීමට අප්‍රමාණ ධෛර්යයකින් වැඩ කළ කිසිවෙකුටත් ප්‍රබල අමාත්‍ය ධුර ලබාදීමට කටයුතු කර තිබුණේ නැත. එජාප මහ ලේකම් තිස්ස අත්තනායකට රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලැබී තිබුණේ මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය ධුරයකි. එහෙත් ඔහුට ඒ සඳහා කාර්යාලයක් හෝ නිල රථයක් ලබාදී නොතිබුණි. ඒ අනුව තිස්ස අත්තනායක ඇමැතිවරයා එවක අග්‍රාමාත්‍ය ලේකම්වරයා වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා හමුවී එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමට සූදානම් වෙද්දී අගමැති ලේකම්වරයාගේ මාර්ගයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූයේ තමාට සිදුවී ඇති සැන්තෑසිය අවබෝධ කරදීමටය. තිස්ස අත්තනායක ඇමැතිවරයාගේ දුක්ගැනවිල්ල අසා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහුට කියා සිටියේ අමුතු කතාන්දරයකි. ‘‘තිස්ස, ඇමැතිකමක් කරන කෙනෙකුට ඕනම දෙයක් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මම 1978 දී නියෝජ්‍ය විදේශ ඇමැති විදියට පත්කළාම මට ඔෆීස් එකක් තිබුණේ නෑ. මොකද කළින් ආණ්ඩුවේ තිබුණේ නියෝජ්‍ය ඇමැති ධුරයක්. ඉතින් විදේශ නියෝජ්‍ය ඇමැතිගේ කාර්යාලයේ තමයි හමීඩ් ඇමැතිතුමා හිටියේ. මට කාර්යාලයක් තිබුණේ නැති නිසා මම වාහනේ යන එන ගමන්ම තමයි මගේ වැඩ ටික කරගත්තෙ. ඒ නිසා ඔයාට තියෙන මේ ප්‍රශ්න හෙමින් සැරේ එකින් එක හදාගන්න’’ යි කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය තිස්ස අත්තනායකට සමු දුන්නේය. මේ අතර අමාත්‍ය තිස්ස අත්තනායකට නිල රථයක් හා කාර්යාලයක් නොමැති බව දැනගත් එස්. බී. දිසානායක ඇමැතිවරයා ඔහුගේ නිවසේ තිබූ වොල්වෝ රථය හා කෘෂිකර්ම අමාත‍‍්‍යාංශයට අයත් වූ ගැටඹේ පිහිටි නැඩ්සා ආයතනයේ නව ගොඩනැගිල්ලේ මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශය පිහිටුවන ලෙස ඉල්ලීමක් කළේය. චන්ද්‍රිකා ජනාධිපතිනි මුලසුන දැරූ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ඇමැතිවරුන් පැමිණියේ අරලියගහ මන්දිරයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ඒ පිළිබඳව පෙර සාකච්ඡාවක් සිදු කිරීමෙන් අනතුරුවය. ඒ නිසා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සිදු කෙරුණේ පූර්ව සැලසුමකට අනුවය. අමාත්‍ය මණ්ඩලයේදී රවි කරුණානායක හා රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් බොහෝ අවස්ථාවලදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමග ගැටුම් ඇතිකර ගත්තේය. එහෙත් ඔවුන් දෙදෙනා දෙපැත්තකින් සිට තමාට පහර දෙද්දීත් ජනාධිපතිනිය අභීතව ඔවුන් හා වාද විවාද කර ගත්තාය. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කැබිනට් සගයන්ගේ නොහික්මුණු කතා නතර කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ අතර එවැනි බොහෝ අවස්ථාවලදී ඔහු නිහඬව එවැනි වාද විවාද දෙස බලා සිටියේය. ගැටුම දිග්ගැසී යන ඇතැම් අවස්ථාවලදී පමණක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කැබිනට් සගයන්ට ‘‘දැන් ඔය කතාව නවත්වන්න’’ යැයි පැවැසුවද ඔහුගේ කැබිනට් සගයන් ඒ වනවිටත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට කියන්නට අවශ්‍ය දේ කියා අවසන් කර තිබුණේය. ඉන් සිදුවූයේ මෙවැනි කලහකාරී ඇමැතිවරුන් පිරිසක් සමග සහයෝගයෙන් වැඩ කළ නොහැකි බවට මතයක් ජනාධිපතිනි චන්ද්‍රිකා තුළ ඇතිවීමය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය එවක පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම්වලට පැමිණෙන විට කුඩා ටේප් රෙකෝඩරයක් සවි කළ කැමරාවක් ඇයගේ අත් බෑගයේ දමාගෙන පැමිණෙන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබුණි. එවැනි කතා ප්‍රචාරය කරන ලද්දේ රාජිත සේනාරත්න හා රවි කරුණානායක යන ඇමැතිවරුන් බවද මත පළ විය. කෙසේ වෙතත් රාජිත සේනාරත්න, රවි කරුණානායක, එස්. බී. දිසානායක වැනි ඇමැතිවරුන් අමාත්‍ය මණ්ඩලයේදී ඉදිරිපත් කරන ලද බහුතරයක් අභියෝගයන්ට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කිසිදු පැකිලීමක් නොමැතිව මුහුණ දුන්නාය. දෙපිරිස ඉංග්‍රීසි බසින් හරි හරියට බහින්බස් වීම්ද සිද්ධ විය. එ.ජා. පෙරමුණු ආණ්ඩුව වසර දෙකක් ඇතුළත විසුරුවා හැරීමේ දැඩි තීරණයක් ගැනීමට චන්ද්‍රිකා කුමාරතුංගට එවැනි සිද්ධීන් බලපෑ බව එවක එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අතර කතාබහක් පැතිරෙමින් තිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණු රජය සමග ආරම්භයේදී සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග උනන්දුවක් දැක්වූවාය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය නිල බලයෙන්ම හිමිවී තිබුණේ ජනාධිපතිවරයාටය. 1994 පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදී එවක ජනාධිපතිවරයා වූ ඩී. බී. විජේතුංග මහතා පවා ආරක්ෂක අමාත්‍ය ධුරය ඔහු යටතේ රඳවාගෙන තිබුණේය. එහෙත් 2001 දී බලයට පත්වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ආරක්ෂක අමාත්‍ය ධුරය පවා පරිත්‍යාග කිරීමට ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කටයුතු කළාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහුගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ධුරය පැවැරුවේ ඔහු විසින්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කළ තිලක් මාරපන මහතාටය. මේ අතර එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ සිත් තුළ ද යම් කිසි කළකිරීමක් මෙම වකවානුව වන විට ඇති වෙමින් තිබුණේය. එජාපයේ ජ්‍යෙෂ්ඨයකු වූ එම්.එච්. මොහොමඩ් ඉන් එක් අයෙකි. ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි එජාප නායකයන් යටතේ ප්‍රබල ඇමැතිකම් හා කථානායක ධුරය පවා උසුලා තිබූ ඔහුට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පවරා තිබූ බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය ධුරය ඔහු විසින් සලකන ලද්දේ තමන්ට කරන ලද මදිපුංචිකමක් ලෙසිනි. මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය ධුරය දැරූ තිස්ස අත්තනායකට ද එවක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ චරිත රත්වත්ත මහතා ඔහු මධ්‍යම පළාත ආශ්‍රිතව ආරම්භ කළ සෑම ව්‍යාපෘථියකටම මුදල් නොමැති බව අඟවමින් තහංචි පනවා තිබුණේය. එහෙත් පොදුජන එක්සත් පෙරමුණේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වී අමාත්‍ය ධුර ලබාගෙන සිටි එස්.බී. දිසානායක, ජී.එල්. පීරිස්, මහින්ද විජේසේකර, රාජිත සේනාරත්න, බන්දුල ගුණවර්ධන වැනි ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල වැඩකටයුතුවලට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කිසිදු අවස්ථාවක මැදිහත් කිරීම් නොකළ අතර ඔවුන්ගේ අමාත්‍යාංශවලට මුදල් අමාත්‍යාංශ ලේකම් චරිත රත්වත්ත මහතාද මුදල් සම්බාධක නොකළේය. ඔවුන් යටතේ පැවැති ආයතනවලට ප්‍රධානීන් පත් කරන ලද්දේ ද ඔවුන්ගේම අභිමතය පරිදිය. එමෙන්ම එම අමාත්‍යාංශ යටතේ තිබූ ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීම් කරද්දී වසරක් යනතුරු රැකියා ලබා නොදිය යුතු බවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට නිකුත් කළ චක්‍රලේඛ පවා පොදුජන එක්සත් පෙරමුණ අත්හැර එජාපයට එක්වූ ඇමැතිවරුන්ට බලපෑවේ නැත. එහෙත් වසර 7කට ආසන්න කාලයක් රැකියා නොමැතිව අසහනයෙන් සිටි එජාප ආධාරකරුවන්ට රැකියා ලබානොදීම පිළිබඳව එජාප මැති ඇමැතිවරුන් දැඩි ලෙස කලකිරී සිටියේය. 2003 වසරේ අග භාගය වන විට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් බරපතළ මැසිවිල්ලක් නැගෙමින් තිබුණේය. ඔවුන් එලෙස මැසිවිලි නගන ලද්දේ 2001 මහ මැතිවරණයේදී එජාප ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැප කිරීමක් කරන ලද ආධාරකරුවන්ට ඒ වනතුරුම ප්‍රති උපකාරයක් කිරීමට තමන්ට නොහැකිවීම පිළිබඳවය. ආණ්ඩු පක්ෂයේ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලදී එම කළකිරීම මුදාහැරියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිසි දිනක බලාපොරොත්තු නොවූ අයුරිනි. ‘‘ඒ මිනිස්සු 2001 මහ මැතිවරණයේදී අපටත් පක්ෂයටත් වැඩ කළේ පණ ඇරලයි. ඒ වගේම 2002 පළාත් පාලන මැතිවරණය එජාපයට ජයග්‍රහණය කරවලා දෙන්නත් ඒ අය ලොකු කැපකිරීමක් කළා. ඒත් ඒ උදවිය වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ. අගමැතිතුමා ආණ්ඩුව භාර ගන්නකොටම කීවේ රටේ ආර්ථික තත්ත්වය හොඳ නැති නිසා අවුරුද්දක්වත් ඉවසන්න කියලා. අගමැතිතුමාගේ කතාව අහල ඒ මිනිස්සු අවුරුද්දක් ඉවසුවා. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලයි තියෙන්නේ. ආණ්ඩුවේ හැම ආයතනයකම වගේ රැකියා පුරප්පාඩු තියෙනවා. ඒත් අර චරිත රත්වත්තගේ මළ ඉළවු චක්‍රලේඛ නිසා අපිට එක මිනිහෙක්වත් ඒවාට දාන්න බෑ. මෙහෙම උණාම අපි කොහොමද අපේ ඡන්දදායකයන්ට මුහුණදෙන්නේ. පක්ෂයට වැඩ කරන්න කියලා කියන්නේ’’ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ එවැනි මැසිවිලි එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටද නිහඬ කිරීමට නොහැකි විය. එවැනි පිරිස් ඉල්ලා සිටියේ තමන් නියෝජනය කරන ප්‍රදේශවලට කඩිනම් සංවර්ධනයක් ඇති කිරීම සඳහා හෝ ජනතාවගේ ඇඟට දැනෙන ලෙස යමක් කළ යුතු බවය. ඒ අනුව එවක එජාප පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවට දැනෙන කඩිනම් සහන කුමක්දැයි තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන්නේය. ඒ වනවිටත් රට පුරා වෙසෙන එජාප පාක්ෂිකයන් ඇතුළු සමස්ත ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවබෝධ කරගෙන සිටියද එම ඉල්ලීම සපුරාලීම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තත්ත්වය අවදානම් බවද දැන සිටියේය. එම නිසා රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීම තරමක ප්‍රශ්නයක් බැවින් ඒ වෙනුවට ජනතාවට සහන ලැබෙන වෙනත් අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව මිලින්ද මොරගොඩ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කමිටුවට පැවරුණේ ජනතාවට ලබාදෙන සහන කඩිනමින් ලබා දීමටය. ඒ අනුව මිලින්ද මොරගොඩ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව අඩු ආදායම් ලාභී ජනතාවට සහන ලබාදීම සඳහා ඔවුන්ගේ නිවාස සඳහා සෙවිළි තහඩු 10 බැගින් ලබාදීමට නිර්දේශ කළේය. ‘‘එහෙමනං සර් අපි ඉන්දියාවෙන් සෙවිළි තහඩු අරගෙන ගම් මට්ටමේ නැති බැරි අයට බෙදාදෙමු’’යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පැවසූ අමාත්‍ය මිලින්ද මොරගොඩ ඒ සඳහා ඔහු විසින්ම සකස් කළ වැඩපිළිවෙළද අග්‍රාමාත්‍යවරයා අතට පත් කළේය. ඒ අනුව දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාසයකින්ම අඩු ආදායම් ලාභී පවුල් 500ක් තෝරාගෙන ප්‍රාදේශීය ලේකම්කාර්යාල හරහා එක් පවුලකට සෙවිළි තහඩු 10 බැගින් ලබාදීමට සැලසුම් කළේය. එහෙත් සෙවිළි තහඩු බෙදාදීමේදී එම ක්‍රමය යටතේ එජාප පාක්ෂිකයන් බහුතරයකට ඒවා ලබාදිය නොහැකිවීම නිසා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් සෙවිළි තහඩු බෙදාදීමේ කටයුතු තමන්ගේ හිතු මනාපයට සිදුකිරීම නිසා තහඩු බෙදාදීමේදී විශාල දූෂණ කටයුතු සිදුවෙමින් පැවතියේය. එම සෙවිළි තහඩු තොගය ලැබී තිබුණේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතික පෙරමුණු රජය විසුරුවා හැරීමට දින 4කට පෙරය. සෙවිළි තහඩු බෙදාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රශ්නකාරී වූයේ සිය විධායක බලතල උපයෝගී කර ගනිමින් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් 2004-02-08 වන දින එක්සත් ජාතික පෙරමුණු රජය විසුරුවා හැරීමත් සමගය. එම තත්ත්වය යටතේ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා එජාප හිටපු මන්ත්‍රීවරු සිය ආසන සංවිධායකවරුන් අඩු ආදායම් ලාභී ජනතාවට නොමිලේ බෙදිය යුතු සෙවිළි තහඩු පිටස්තර පුද්ගලයන්ට හොර රහසේම අලෙවි කිරීමට කටයුතු කළේය. එම තත්ත්වය යටතේ එජාප හිටපු මැති ඇමැතිවරුන්ට එරෙහිව බහුතරයක් ජනතාව තමන්ට ලැබිය යුතු සෙවිළි තහඩු පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීම පිළිබඳව අදාළ ප්‍රදේශවල පොලිසිවලට පැමිණිලි කළේය. 2004 මහ මැතිවරණයෙන් එජාපය පරාජය වීමත් සමග සෙවිළි තහඩු අලෙවි කිරීම පිළිබඳව පරීක්ෂණ සිදුකළ පොලිසිය එජාප සංවිධායකවරුන්ට හා හිටපු මන්ත්‍රීවරුන්ට නීති මගින් කටයුතු කිරීම නිසා එවැනි දූෂණ කටයුතුවලට සම්බන්ධව එජාප හිටපු මන්ත්‍රීවරුන් හා ආසන සංවිධායකවරුන්ට රිමාන්ඩ් බන්ධනාගාරගත වීමට පවා සිදුවිය. රංජිත් ගුණවර්ධන
 

More News..