brand logo

කෘෂි පවුල්වල වගකීම භාර ගන්නවා - දුරස් බව අවම කර සහජීවනය ගොඩනගනමු

15 January 2020

කෘෂිකර්මාන්තය හා බැඳුණු පවුල් වෙනුවෙන් තමන් වගකියන බව අගමැති මහින්ද රාජපක්ෂ තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේද සඳහන්වේ. ශ්‍රී ලාංකික සහ ලෝව වටා වෙසෙන සියලුම දමිළ ජනතාව වෙත සෞභාග්‍යය පිරී ඉතිරී යන සුබ තෛපොංගල් දිනයක් මම ප්‍රාර්ථනා කරමි. ශ්‍රී ලංකාව යනු විවිධ ජාතින් එකමුතුව, සහයෝගයෙන් ජීවත්වන සාමකාමී රටක්. ඒ සෑම ජාතියකටම ඔවුනොවුන්ට අවේණික වූ වර්ණවත් සංස්කෘතිකාංග රැසක් ඇති අතර ඒ වර්ණවත් සංස්කෘතිකාංග ශ්‍රී ලංකා මාතාව විචිත්‍රවත් කිරීමට සමත් වන බව මම විශ්වාස කරමි. දමිළ ජනතාව සමරන තෛපොංගල් දිනය ද එවන්වූ විචිත්‍රවත් උත්සවයකි. අතීතයේ සිටම කෘෂි කර්මාන්තය හා එකට බැඳුණු ආර්ථිකයකට සහ ජීවන රටාවකට දමිළ ජනයා උරුමකම් කියයි. පරිසරය සමග සුහද ගනුදෙනුවක නිරත වන දමිළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය තෛපොංගල් ලෙස හඳුන්වයි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම සඳහා මෙම උත්සවය පවත්වයි. තෛපොංගල් උදාවත් සමග නව බලාපොරොත්තු පිරි නව ආරම්භයක් සහ නව වසරක් සනිටුහන් කරයි. අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් ලෙස මේ උත්සවය හැඳින්විය හැක. ජාතීන් අතර ඇති දුරස්බව අවම කරගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කරගැනීමට ද තෛපොංගල් වැනි වර්ණවත් උත්සව මනා පිටිවහලකි. කෘෂිකර්මාන්තයේ යෙදී සිටින සියල්ලන්ම ජාතික භේදයකින් තොරව ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔවුන්ගේ කැපවීමටද මම ස්තුති කරමි. අපගේ රජය ගොවියන් උදෙසා සහන රැසක් ලබාදුන් අතර ඉදිරියටත් කෘෂිකර්මාන්තය හා බැඳුණු පවුල් වෙනුවෙන් පෙනී සිටින බවට මම වගකියමි. අපගේ රජයේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ සහලින් ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ඇති කිරීමයි. උදාවූ නව වසරේදී නවතා තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කර අපගේ නව රජය සියලු අභියෝගවලට මුහුණදී ශ්‍රී ලංකාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් බව මම විශ්වාස කරමි.
 

More News..