brand logo

කෘෂිකර්ම බඳවා ගැනීම් ඉදිරියේදී කෘෂි අධ්‍යාපනය හැදෑරූ අයට පමණයි - පී.හැරිසන්

11 June 2019

ඉදිරි රජයේ අපේක්ෂාව කෘෂිකර්මාන්තය හා බැදුණු යටිතල පහසුකම් සංවර්ධනය කොට තිරසාර කෘෂිකර්මාන්ත පිළිවෙතක් රටට හඳුන්වා දීම බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා යාන්ඔය ජලාශ ඉදිකිරීමේදී ඉඩම් පරිත්‍යාග කළ ගොවීන් හට 2018 මහ කන්යේදී කන්න වන්දි පිරිනැමීමට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට මොරගහකන්ද සහ කළුගඟ ජලාශයේ ජලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය ඇළවේලී ඉදිරියේදී කඩිනම්ව ඉදිකරන බවත්, එමඟින් පදවිය කෙලවරෙහි ජනතාව වෙත ලබා දීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසීය. යාන්ඔය ජලාශයට සමගාමීව වාහල්කඩ පදවිය වැව් මඟින් ගොවිතැන් කිරීමට නොහැකි වූ පදවිය සීමාවේ ඉඩම් වෙත ද ජලය ලබාදීම සඳහා මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ස්ථීර වැඩපිළිවෙලක් සඳහා සාකච්ඡා අරඹා ඇති බවද එහිදී පැවසීය. රාජාංගනය සහ කනදරාව ජලාශයන්හි ජලය උපයෝගීකර ගනිමින් එම ප්‍රදේශ වලම ජනතාව වෙත පිරිසිදු පානීය ජල ව්‍යාපෘති අරඹන බවත්, එමඟින් එම ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති වකුගඩු රෝගයට පිළියමක් වනු ඇති බව අමාත්‍යවරයා කීය. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී පේමඩුව, රනෝරාව, තන්තිරිමලය ප්‍රදේශවල මුරුංගා වගාවන් අරඹන බවත්, එමගින් වැඩි ඉල්ලුමක් ඇති මුරුංගා කොළ පිටරටට අපනයනය කර දේශීය ගොවියා ශක්තිමත් කිරීමට හැකියාවක් ලැබෙන බව අමාත්‍යවරයා කීය. ඉදිරියේදී කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා කෘෂි පර්යේෂණ නිලධාරීන් බදවා ගැනීමේදී කෘෂිකර්මය පිළිබඳව මනා දැනුමකින් පරිපූර්ණ පිරිස් බඳවා ගැනීමටත්, කෘෂිකර්ම විද්‍යාලවල ඉගෙනුම ලැබූවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදෙන බව අමාත්‍යවරයා පැවසීය. එමඟින් කෘෂිකර්මාන්තය පිළිබඳව ගොවියා හා නිලධාරියා අතර සබඳතාව දියුණු වී කෘෂිකර්මාන්තය තුළ ඇති ගැටළු විසදා ගැනීමට හැකියාව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. යාන් ඔය මහකන්නය සඳහා ගොවීන් 113 දෙනෙකු සඳහා මෙහිදී වන්දි පිරිනැමීම සිදු වූ අතර මේ වන විට යාන්ඔය ඉඩම් පරිත්‍යාග කළ ජනතාවට හා ගොවීන්ට මිලියන 100ක පමණ වන්දි මුදල් පරිත්‍යාග කර ඇති බව වන්දි පිරිනැමීමට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
 

More News..