brand logo

කෘෂිකර්ම ගොඩනැගිල්ලට රු. කෝටි දෙකක් පිදුව දුමින්ද හෙට ජනාධිපති කොමිසමට

19 August 2019

රුපියල් දසලක්ෂ විසි එකක මාසික කුලියට කෘෂිකර්ම අමාත්යාංශය රාජගිරියේ පිහිටි ඩී.සී.ජේ. ටවර් ගොඩනැගිල්ලට ගෙන යාම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා හිටපු කෘෂිකර්ම ඇමැති, පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක හෙට (20දා) ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබ ඇත. මේ අතර මෙම ඩී.සී.ජේ. ටවර් ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බවට කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති නීතිඥ මධුර විතානගේගෙන් අද ප්රකාශයක් ලබා ගැනීමට නියමිතය. මේ සඳහා පොලිස් කණ්ඩායමක් එම මහ නගර සභාවට යවන බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් අරුණට ඊයේ (18 වැනිදා) පැවැසීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මහ නගර සභාවේ අනුමැතිය ලැබී නැතැයිද ගොඩනැගිල්ල ඉදිකර ඇති ඉඩමට අදාළව නඩුවක් පවතින බවද එම පැමිණිල්ලේ සඳහන් වෙයි. බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයේ පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්යාංශය ගොඩනැගිල්ලට ගෙන යාමේ අවශ්යතාව වූයේ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වීම සඳහා ගොවිජන මන්දිරය ලබාගැනීමය. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී තිබේ. ඊට අදාළව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කොමිෂන් සභාවට එවූ ලිඛිත ප්රකාශනයකින් අනාවරණය වූයේ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වීම ආරම්භ කර ඇත්තේ කෘෂිකර්ම අමාත්යාංශයෙන් ඉවත් කර වසර එකහමාරකට පසුව බවයි. මෙම කරුණු සම්බන්ධයෙන් එවකට කෘෂිකර්ම ඇමැතිවරයා වූ දුමින්ද දිසානායකගෙන් සාක්ෂි විමසීමට නියමිතය. නිලන්ත මදුරාවල
 

More News..