brand logo

කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හැරිසන්ට හිරිහැරයක්

09 August 2019

වැවක ගැටලුවක් ගැන සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගිය තමන් පැය දෙකහමාරකට අධික කාලයක් රස්තියාදු කළේ යැයි උරණවූ කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට කෘෂිකර්ම ඇමැති පී. හැරිසන් පහර දීමට උත්සාහ කළේ යැයි අගමැතිවරයාට පැමිණිලි ලැබී ඇත. මෙම සිද්ධිය පෙරේදා සවස සිදුව ඇති අතර පී. හැරිසන් විසින් මේ බව අගමැතිවරයාට පැමිණිලි කර තිබේ. ඇමැතිවරයාට පහර දෙන්න හැදුවේ ඇයිදැයි අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාගෙන් විමසා ඇත. තමන් සහ රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ඊ.ඒ. විජේතුංග වැවක ප්‍රශ්නයක් සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගිය බවත් එහෙත් ඇමැති හැරිසන් හදිසි රැස්වීමක සිටින බව කියමින් පැය දෙකහමාරකට අධික කාලයක් තමන් රස්තියාදු කළ බවත් බැරිම තැන ⁣බලහත්කාරයෙන් දොර ඇරගෙන ඇමැතිවරයාගේ කාර්යාලයට ගොස් " ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සලකන්නේ මෙහෙමදැයි " තමන් ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ බවත් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා අගමැතිවරයාට පවසා ඇත. මේ සම්බන්ධයෙන් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු ' අරුණට' පැවසුවේ දොස් කීවා මිස තමන් හැරිසන් ඇමැතිවරයාට පහර නොදුන් බවයි. එහෙත් ඔහු අගමැතිවරයාට පැමිණිලි කර ඇත්තේ තමන් පහරදුන්නා කියා යැයිද පැවසීය. අජිත් අලහකෝන්
 

More News..