brand logo

කෘතිම වැස්සට ගිවිසුමක්

24 January 2019

වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ යටතේ වියලි කාලගුණයක් පවතින් අවස්ථා වලදී වළාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ. තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීම නියමිත මෙම කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ගුවන් යානා සැපයීමට එකගවී තිබේ. ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (23) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගිවිසුමට අත්සන් තබන ලදී. මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා, "වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථා වලදී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘතීම වැසි ඇති කිරීමට අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සදහා අපට තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙනවා. වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සදහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘතීම වැසි ඇති කිරීමට පියවර ගන්නවා. ප්‍රථම වතාවට තමයි ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන්නේ. ඒ නිසා මේ අද අත්සන් කළේ ඓතිහාසික ගිවිසුමක්. මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය වැසි රහිත කාලගුණික තත්ත්වයන් මත ජල විදුලි උත්පාදනය සීමා වීමේදී, විදුලි ජනනය පුද්ගලික අංශය මගින් සිදුකිරීමට යාමෙන් අධික අලාභයක් ලබා තිබෙනවා. මේ නව කෘතීම වැසි ක්‍රමය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ එම අලාභය අවම කරගැනීමට හැකිවේවි. අපි මෙම ව්‍යාපෘතිය ලබන මස අග වනවිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ සියලු දේ කරන්නේ රටේත් ජනතාවගේ අභීවෘද්ධියට සහ අනවශ්‍ය වියදම් අවම කරගැනීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහායි" යැයි පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා පැවසුවේ, ජලවිදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට කෘතිම වැසි ඇති කිරීමේ කාර්යයට ගුවන්යානා ලබාදීම මගින් මෙම නව ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වීමට ගුවන් හමුදාවට හැකිවන බවත්, ඒ සඳහා ඉදිරීයේදී ගුවන් යානායක් නවීකරණය කරන බවත්, එම ගුවන් යානය මගින් වළාකුළු අතරට රසායනික ද්‍රව්‍යයන් එකතු කිරීමෙන් කෘතීම වැසි ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි. ඉදිරියේදී මෙම කාර්යය සඳහාම වෙන්කරන ලද ගුවන්යානා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අදහස් කරන බවද, තාප බලාගාර වෙනුවට ජලවිදුලිය නිෂ්පාදනය කිරිම සදහා අද දින මේ අත්සන් කරන ලද ගිවිසුම ඓතිහාසික ගිවිසුමක් බවත්, විදුලි ජනනයට අමතරව නියගය පවතින අවස්ථාවලදී රටේ කෘෂිකර්මාන්තය සදහාද මෙම ක්‍රමය යොදාගත හැකි බවත් පැවසීය. https://youtu.be/lloGHzRPmyo
 

More News..