brand logo

කෘත්‍යාධිකාරිය සහ මන්ත්‍රී කණ්ඩායම එකම දිනක කැඳවන්න - සජිත් පිලේ ඉල්ලීමට රනිල්ගෙන් ප්‍රතිචාර

15 August 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාසට, සහයෝගයට ලබාදෙන පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිහය දෙනකු ඉල්ලා සිටි ලෙස එකම දිනකදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීම එළඹෙන 18 හෝ 19 යන දිනයන්හි සිදු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු වී තිබේ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13වැනිදා) රාත්‍රි පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව පැවැති නිල නොවන සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුද සහභාගි වී තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එකම දිනකදී පවත්වා ජනාධිපති ධුර අපේක්ෂක යෝජනාව ඉදිරිපත් කර ඡන්ද විමසීමක් මෙහිදී පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටු වීමට යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම තවදුරටත් ප්‍රමාද වන බවද වාර්තා වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13 වැනිදා) රාත්‍රී අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී නව සන්ධානය පිහිටුවීම පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී තිබේ. නව සන්ධානයේ ව්‍යවස්ථාව පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇත . එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාසද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඇමැති පලනි දිගම්බරන් සාකච්ඡාවට එක්ව නොසිටියේය. සන්ධානය පිහිටුවීමට පෙර ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කරන ලෙස අමාත්‍යවරුන් කිහිප දෙනකු ප්‍රකාශ කිරීම හේතුවෙන් නව සන්ධානය ස්ථාපිත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇත්තේ මෙම සන්ධානය අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම ස්ථාපිත කළ යුතු බවයි. සන්ධානය පිහිටුවීම පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ඡාවක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 17 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඇමැති සජිත් ප්‍රේමදාස සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහ ලේකම් ධුරයට යෝජනා කර ඇති ඇමැති රාජිත සේනාරත්න අතර විශේෂ සාකච්ඡාවක්ද පෙරේදා (13 වැනිදා) පැවැත්විණි. මෙහිදීද නව සන්ධානය ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු විය.
 

More News..