brand logo

කුසල් මෙන්ඩිස් බිංන්දුවෙන් පෙරටම

04 January 2021

දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ පළමු දිනය වූ ඊයේ (03 වැනිදා) ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 157කට සීමාවද්දී දිනය හමාරවන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබා සිටියේය. ජොහැනස්බර්ග් හිදී ආරම්භ වුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේදී මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු ටෙස්ට් වරම් දිනා ගන්නට සමත් වූහ. තරගයේ ලකුණු පුවරුව 19ක් වනවිටම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ සබඳතාව බිඳ හෙළන්නට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්රික් නොට්ජේ සමත් විය. ඒ අනුව ලකුණු 02ක් ලබා සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට ක්‍රීඩාගාරය වෙත හැරී යන්නට සිදුවිය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 71ක් වනවිට ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ කුසල් පෙරේරා දැවී ගියේය. වියන් මුල්ඩර්ගේ පන්දුවකට ඒඩන් මක්‍රම් අතට උඩ පන්දුවක් ලබා දී දැවී යනවිට කුසල් පෙරේරා පන්දු 67කදී වේගවත් ලකුණු 60ක් ලබා සිටියේය. ටෙස්ට් තරගයක එක් ඉනිමක දෙවන කඩුල්ල ලෙස දැවී යන ක්‍රීඩකයා ලකුණු 60ක් ලබා සිටියදී කණ්ඩායමේ ලකුණු පුවරුවේ දිස් වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් (71) මෙය වාර්තා අතරට එක්විය. මින් වසර 117කට පෙර, එනම් 1904 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයක එංගලන්ත පිතිකරුවකු වූ ජොනී ටිල්ඩ්ස්ලි දෙවන කඩුල්ල ලෙස ලකුණු 62 කට දැවී යනවිට එම ලකුණු පුවරුව 74 ක් ලෙසින් දැක්වීමේ වාර්තාව ඒ අනුව බිඳ වැටිණි. ලකුණු පුවරුව 110ක් වනවිට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් බිඳ හෙළන්නට දකුණු අප්‍රිකානු වේග පන්දු බළඇණිය සමත් වූ අතර 2020 වසරේ සිය අවසන් ඉනිම හෙවත් පළමු ටෙස්ට් තරගයේ අවසන් දෙවැනි ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් 2021 වසරේ සිය පළමු ඉනිම වූ මෙහිදීද ලකුණු නොලබාම දැවී යෑම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ඉනිමේ අග පෙළට යම්කිසි හෝ ස්ථාවරත්වයක් ලබාදුන් වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර පිළිවෙළින් ලකුණු 29ක් සහ 22ක් රැස් කළේ පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඇන්රික් නොට්ජේ ලකුණු 56කට කඩුලු 6ක් බිඳ හෙළූ අතර වියාන් මුල්ඩර් ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙළීය. ඉන් අනතුරුව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පිටියට පිවිසිණි. අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාවද ලකුණු 35කට සීමා කරන්නට සිය මංගල කඩුල්ල දවාගත් අසිත ප්‍රනාන්දුට හැකිවිය. දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඩීන් එල්ගාර් සහ රසී වැන්ඩසන් පිළිවෙළින් ලකුණු 92ක් සහ 40ක් ලබා සිටියේය. අද (04 වැනිදා) තරගයේ දෙවන දිනයයි.
 

More News..