brand logo

කුවේටයේ ලාංකිකයන් 400ක් ලංකාවට එන්න උද්ඝෝෂණයේ

22 April 2020

වීසා නොමැතිව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයක් පමණ පිරිසක් ඊයේ (21) පෙරවරුවේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැමිණ මෙරටට පැමිණීම සඳහා ලිපියක් ඉල්ලා උද්ඝෝෂණය කළහ. කොවිඩ් 19 වෛරසය නිසා කුවේටය පුරා පනවා ඇති දැඩි නීතිරීතිද නොතකමින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙසේ උද්ඝෝෂණය කර තිබුණි. වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීම සඳහා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ලබා දී ඇත. ඔවුන්ට මෙරටට පැමිණීම සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිපියක් ගෙන එන ලෙසට කුවේට් රජය දැනුම් දී ඇත. මෙම ලිපිය ලබා ගැනීම සඳහා තමන් දින කීපයක් තිස්සේ තානාපති කාර්යාලයට පැමිණෙන බව පවසන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ඊයේද අලුයම හතරේ සිට එහි රැඳී සිටියත් තානාපති කාර්යාලයේ දොරගුළු දමා නිලධාරීන් සැඟව සිටින බවට චෝදනා කළහ. වීසා නොමැතිව රැඳී සිටින ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් මෙම මාසය ඇතුළත එරටින් පිටවිය යුතු බවට නීති පනවා ඇතත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊට අදාළ ලිපි ලේඛන ලබා නොදී සැඟව සිටින බවට මොවුහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමේදී එහි නිලධාරියෙක් කියා සිටියේ, මෙවැනි උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමන් දැනුවත්වී නොමැති බවයි.   අජිත් අලහකෝන්
 

More News..