brand logo

කුලේගේ ඇස්වලට කඳුළු පිරුණු රාත්‍රිය

22 September 2019

‘‘නුවන්, අපේ කොටුගොඩ, රැම්රිච් හෝටලේ පොඩි උත්සවයක් තියෙනවා. 12 වෙනිදා රෑ 7.30ට විතර එන්න.’’ නුවන් කුලසේකර නමැති ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු මිතුරන් පිරිසක් එක්ව පිහිටුවාගත් ගෝල්ඩන් ෆ්‍රෙන්ඩ් මිතුරු සමාජයේ ජයකොඩි මහතා නුවන්ට දුරකථන ඇමැතුමක් දී ආරාධනා කළා. මිතුරන්ගේ ආරාධනය පිළිගත් නුවන් පසුගිය 12 වැනි බ්‍රහස්පතින්දා කොටුගොඩ රැම්රිච් හෝටලයට ගියේ ආදරණීය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමගින්. මංගල බෙර වාදකයන් හෝටලය ඉදිරිපිට උන්නේ හෝටලයේ මංගල උත්සවයක් නිසා යැයි නුවන් අනුමාන කළා. නමුත් නුවන් සහ බිරිඳ ඇතුළු දරුවන් දෙදෙනා මල්මාල දමා පිළිගත්තේ මංගල බෙර වාදනයද සමගිනුයි. ‘‘මේ මොකද ජයකොඩි අයියේ?’’ නුවන් පුදුමයට පත්වුණා. ‘‘යමුකෝ ඇතුළට...’’ මංගල බෙර වයමින් ප්‍රධාන ශාලාවට ඇතුළු වන විට නුවන්ට ඇස් අදහාගත නොහැකි වූයේ ප්‍රධාන වේදිකාව මත සවිකර තිබූ ඔහුව පිළිගන්නා දැවැන්ත බැක් ඩ්‍රොප් එක දැකීමෙන්. නුවන්ගේ හොඳම ක්‍රිකට් මිතුරා ලසිත් මාලිංගව දැකීමෙන් නුවන් තවත් පුදුමයට පත්වුණා. ඔහු වඩාත්ම කැමති ගායකයා වන නලින් පෙරේරා තවත් පසෙක විය. නුවන්ගේ කැමති නළුවන් වන ගිහාන් මෙන්ඩිස් සිනාමුසු මුහුණින් නුවන්ව වැලඳ ගත්තා.. තවත් පසෙක ඔහු කැමතිම සංගීත කණ්ඩායම වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සුමියුරු ගීතයකින් ඔහුව පිළිගන්නා විට ඔහුට අදහාගත නොහැකි වුණා. නුවන්ගේ ක්‍රිකට් මිතුරන් වන ධම්මික ප්‍රසාද්, සචිත්‍ර සේනානායක, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, ජොහාන් මුබාරක් පවුලේ අය සමග අසුන්ගෙන උන්හ. ගිරිරාජ් කෞශල්‍ය, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, ඉසුරු ලොකුහෙට්ටිගේ, අමිල අබේසේකර, ජයලාල් රෝහණ ඇතුළු ඔහු කැමතිම නළු නිළියන්, ගායක ගායිකාවන් ඔහු අවට සිටී. චූටි මල්ලි, ලොකු මල්ලි සමග කලා ක්ෂේත්‍රයේ වගේම නුවන් ළඟින්ම ආශ්‍රය කළ සියලු දෙනාම දැකීමෙන් ඔහුට අදහාගත නොහැකි වුණා. ගෝල්ඩන් ෆ්‍රෙන්ඩ්ස් මිතුරන්, කුලසේකරට උපහාර දැක්වීමේ උත්සවය සංවිධානය කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලැබී ඇත. අවුරුදු 16ක් ක්‍රිකට් ක්‍රීඩා කළ, රටට, ක්‍රිකට් පාලක මණ්ඩලයට කළ නොහැකි වූ දේ ඔහුගේ මිතුරන් කර අවසන්. ක්‍රිකට් පිටියේ අවසානයේ සිනාවෙන් මුව සරසාගත් ලොව අංක එකේ පන්දු යවන්නා ලෙස වර්ගීකරණයේ අංක එකට පැමිණි එකම ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයාට උපරිම ගරුසරු සහිතව උපහාර උත්සවයක පහස විඳීමේ විරල අවස්ථාව උදාවිය. මුළු ශාලාවම ඔහු වෙනුවෙන් විකසිත වී ඇත. බලන බලන තැන ඇත්තේ කුලසේකර කැමති දේවල්ය. ඔහු වෙනුවෙන් ලක්ෂ ගණනක වියදමින් නිම වූ රන් කුසලානය රැම්රිච් හෝටලයේ අධිපති ජයකොඩි මහතා ලබාදෙන විට නුවන්නේ නෙතටත් කඳුළක් මෝදු විය. ‘‘මේක මට අදහන්න බැහැ. ජීවිතේ කිසිම ක්‍රීඩකයෙක්ට මෙවැනි සුන්දර සමුගැනීමේ සාදයක් ලැබිලා නැතිව ඇති. මට මේක ගොඩක් වටිනවා. මම ආදරය කරපු මගේ ළඟින් උන් හැම කෙනෙක්ම මගේ ළඟ. මම තරම් වාසනාවන්ත ක්‍රීඩකයෙක් මේ ලෝකෙ නැතිව ඇති’’ නෙතට උනපු කඳුළ අතරින් නුවන් ප්‍රකාශ කළා. රත්තරන් සම්මානය තුරුලු කරන් ඔහු වේදිකාවේ ඉඳන් බැලුවේ අදහාගන්න නොහැකිව වගේ. නුවන් වෙනුවෙන් සූදානම් කළ රාත්‍රිය ඇත්තෙන්ම නුවන්ගේම රාත්‍රිය විය. ඔහු කැමති ගීත, ඔහු වෙනුවෙන් ගායනා කළා. ඔහුත් ගායනා කළා.. යාළුවෝ නුවන් වට කරගෙන නර්තනයේ යෙදුණා. ලංකාවේ සැප පුටුවල ඉන්න ලොක්කන්ට අවුරුදු 16ක් ක්‍රිකට් ගහපු නුවන්ව අමතක වුණාට එදා ගමේ ටෙනිස් බෝලෙන් සෙල්ලම් කරපු යාළුවන්ට නුවන්ව මහමෙරක් වගේ. මනුස්සකම කියන්නේ මෙය නොවේද? ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..