brand logo

කුරුණෑගල නගරාධිපති ඇතුළු 5ට එරෙහි වරෙන්තුව 24දා තෙක් අත්හිටුවයි

12 August 2020

කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තු ලබන 24 වන දා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. තමන්ව අත්අඩංගුව ගැනිම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළහ. මෙහිදී විනිසුරු මඬුල්ල අවධාරණය කළේ මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව සහ දැනට නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දු ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවය. ඒ අනුව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව මේ වනවිට අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන බැවින් එම වරෙන්තු ලබන 24 වන දා තෙක් ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය. කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජ සමයට අයත් බව කියන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් පසුගිය දා වරෙන්තු නිකුත්කර තිබුණි.
 

More News..