brand logo

කුමන්ත්‍රණකාරී කණ්ඩායම් හිටියට පක්ෂය ඇතුළේ බෙදීම් නෑ

15 August 2022

 ඇමැතිකමක් ගන්නවත් එතුමාට කැමැත්තක් තිබුණෙත් නැහැ

තුනෙන් දෙකක බලයක් ලබාගෙන පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව දැන් බිද වැටී ඇත. එහෙත් තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එනිසා මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රියාකරන්නේ කෙසේද ? මේ ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සමග කළ සංවාදයකි.

හිටපු ජනාධිපතිවරයා මේ දවස්වල ඉන්නෙ තායිලන්තයෙ. ඔහුට මෙරටට පැමිණීමට තරම් ආරක්ෂාවක් තාම නැති බව කියනව. ඔහු ජනාධිපති බවට පත්වුණේ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වෙලා. හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණිම සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට මොනවගේ මැදිහත්වීමකද ඉන්නේ...?

මේ රටේ ඕනෑම පුරවැසියෙකුට මේ රටට පැමිණීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තියෙනවා. ජනාධිපතිවරයා හෝ ඕනෑම පුද්ගලයෙක් මේ රටේ පුරවැසියෙක් නම් ඔහුට ඕනෑම අවස්ථාවකදී රටට ඇතුළුවීමටත්, තමන්ට අවශ්‍ය අවස්ථාවකදී රටෙන් පිටවීමටත් අවශ්‍ය සියලු බලය සහ අයිතිය තිබිය යුතුයි. හිටපු ජනාධිපතිවරයාටත් සම්පූර්ණයෙන්ම ඒ හිමිකම ලැබෙනවා. දේශපාලන පක්ෂයක් හැටියටත් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ රටේ ලොකු බලපෑමක් ඇති වෙලා එතුමාට රටෙන් යන්න සිද්ධ වුණා. ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමමින්, ලේ වැගිරීමක් වෙන්න නොදී එතුමා රටෙන් පිටත් වෙලා ගියා. නැවත පැමිණෙනවා නම් එතුමාට අදාල ආරක්ෂක අංශ විසින් අවශ්‍ය ආරක්ෂාව සහතික කළ යුතුව තියෙනවා. පක්ෂ ලේකම්වරයෙක් හැටියට ඒ සම්බන්ධයෙන් නම් මට අදහසක් ප්‍රකාශ කරන්න බැහැ. මොකද ඒ තොරතුරු මට ලැබෙන්නේ නැහැ. නමුත් එතුමාට ඒ තියෙන අයිතිය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ලක්ෂ 69ක් ඡන්දය ගත්ත ජනාධිපතිවරයෙක්ට, තුනෙන් දෙකක බලයක් ලැබුණු ආණ්ඩුවකට එකපාරටම මොකද වුණේ...?

ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා රටම දැක්කා. එක් එක් පුද්ගලයන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළවල් මත ඒ තත්ත්වය විනාශ වුණා. විවිධ යටි අරමුණු තියාගත්ත දේශපාලනඥයින්, කල්ලි කණ්ඩායම් සහ ජනාධිපතිතුමා කිට්ටුවෙන්ම ආශ්‍රය කළ විවිධ ව්‍යාපාරිකයන් ඒ විනාශය කළා කියලා තමයි මම නම් හිතන්නේ.

ඒත් මේ හැමදේටම මුල බැසිල් රාජපක්ෂ කියලයි පක්ෂ, විපක්ෂ බොහෝ දෙනෙක්ගෙ අදහස...

බැසිල් රාජපක්ෂ මැතිතුමා දේශපාලනයට සම්බන්ධ වෙන්න කිසිම එකඟතාවයක් තිබුණේ නැහැ. දේශපාලනයට සම්බන්ධ වෙලා පාර්ලිමේන්තුවට එන්නවත් ඇමැතිකමක් ගන්නවත් එතුමාට කැමැත්තක් තිබුණෙත් නැහැ. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමාට දේශපාලනයට එන්න කියල විශේෂ ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමත් බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කළා.‍ "මම දේශපාලනයට ආවේ මගේ සහෝදරයන් ගැන විශ්වාසය තියල. මේ වෙලාවේ ඔවුන් මට උදව් කරන්නේ නැත්නම් මම මේ දේ තනියම කොහොමද කරන්නේ ? ඒ නිසා තමන් කළ ඉල්ලීම භාර ගන්න දේශපාලන පක්ෂයක් හැටියට බැසිල් රාජපක්ෂට බලපෑම් කරන්න" කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පක්ෂයේ ලේකම් හැටියට මාව ගෙන්වලා පුද්ගලිකව මට කිව්වා. ඉන් අනතුරුව ඒ ගැන බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපේ පක්ෂය කිව්වත් එතුමා කැමති වුණේ නැහැ. මේ තනතුර බාරගන්න කියලා දේශපාලන පක්ෂයක් විදිහට අපි දිගින් දිගටම එතුමාට ලොකු බලපෑමක් කළා. ඒ බලපෑම් මත මේ තනතුර භාර ගත්තත් ඒ තනතුරේ වැඩ ටික හරියට කරන්න ඇතැම් පුද්ගලයින් අවස්ථාවක් දුන්නේ නැහැ. එතුමාගේ අදහස් යෝජනා ක්‍රියාත්මක කරන්න කිසිම ඉඩක් ලැබුණේ නැහැ.

මොනවද ඒ ක්‍රියාත්මක නොවුණු යෝජනා...?

අපි ණය නොගෙවා හිටියොත් ණය පැහැරහැරියන් බවට පත්වෙනවා. ඒ නිසා ණය නොගෙවා ඉන්නේ නැතිව සාකච්ඡාවක් හරහා මේ තත්ත්වය විසඳාගත යුතුයි කියලා අවධාරණය කළා. අද ණය නොගෙවා සිටීම නිසා ආර්ථිකයට විශාල හානියක් වෙලා කියලා අපේ ඇස් පනාපිටම සාක්ෂිත් එක්ක ඔප්පු වෙලා තියෙනවා. ඒ ණය නොගෙවා සිටීම නිසා අද අපි බංකොලොත් ජාතියක් බවට පත් වෙලා . ඒ වගේම දේශීය ආර්ථිකයක් නිර්මාණය කරමින් මේ ප්‍රශ්නයෙන් ගොඩ ආ යුතුයි කියලා එතුමා දිගින් දිගටම කිව්වා. රට වහලා තියෙන අවස්ථාවලදීත් මුදල් ඇමැති හැටියට මැදිහත් වෙලා මේ රටේ අපනයන කර්මාන්තවලට අදාල සියලු කර්මාන්ත ශාලා විවෘත කරලා තියන්න අවසර ලබාදුන්නා. ඒ වෙලාවේ කොරෝන හදලා රටම මරන්න හදනවා කියලා සමහර මිනිස්සු පාරට බැහැලා කෑ ගැහුවා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේදී ජීව බුබුලක් හදලා ඒ තුළින් සංචාරකයන් ගෙන්වා ගැනීමට උත්සාහ කළා. ඒ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මැතිතුමාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් දැම්මා. කොවිඩ් තත්ත්වයට මුහුණ දීලා ජයගත්ත ලෝකයේ අනෙක් රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග ඒ රටවල ක්‍රියාත්මක වීමට පෙර අපේ රටේ ක්‍රියාත්මක කිරීමට එතුමා උත්සාහ කළා. නමුත් ඒ දේවල් කරන්න එතුමාට ඒ කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නැහැ. 2022 මාර්තු මාසය වන විට මේ රටේ විශාල විදේශ විනිමය අර්බුදයක් එනවා. එහිදී ප්‍රධානම ගැටලුව ඇති වෙන්නේ ගෑස් සහ ඉන්ධන සම්බන්ධයෙන්. ඒ නිසා ඒවා ණය ක්‍රමයක් මත ගෙන ඒමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා එතුමා අපිට බොහොම පැහැදිලිව කිව්වා. ණය ක්‍රමයක් මත ගෑස් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර සියල්ල සකස් කරල ගිවිසුම අත්සන් කරන්න යද්දී, හිටිහැටියේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාව අයින් කරල ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැති පුද්ගලයෙක් ඒ තනතුරට පත් කළා. අලුත් සභාපතිවරයා මෙහි පසුබිම දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඔහු ගිවිසුමට එකඟතාවය පළ කළේ නැහැ. අපිට තිබුණ විදේශ විනිමය ගැටලුවෙන් බේරෙන්න තමයි අපි ගිවිසුම්ගත වෙන්න තීරණය කළේ. අවසානයේ මිනිස්සුන්ට මාස ගානක් ගෑස් නැතුව බලාගෙන ඉන්න වුණා . ඉන්ධන පිළිබඳව කතා කළොත් මේ ප්‍රශ්නයට අපිට මාස කිහිපයක මුහුණ දෙන්න වෙනවා ඒ නිසා ණය ක්‍රමයක් යටතේ කොහෙන්හරි ඉන්ධන ගෙන්නන්න කියලා එවකට ඒ විෂයය භාර ඇමතිවරයාගෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉල්ලීමක් කළා. ණය ක්‍රමයක් මත එක රටක් ඉන්ධන ලබා දෙන්න එකඟතාවයකට පැමිණියා කියලා විදේශ සංචාරයකින් පසුව ඒ ඇමැතිවරයා ප්‍රකාශයකුත් කළා. නමුත් කිසිම රටක් ඇත්තටම එවැනි එකඟතාවයක් ඇති වෙලා තිබිලා නැහැ. මේ වගේ සිදුවීම් ගණනාවක් වුණා. හැමෝම බැසිල් රාජපක්ෂ කියන නමට බනිනවා. නමුත් එතුමා ගත්ත හැම තීරණයක්ම නිවැරැදියි කියලා දැන් ක්‍රමක්‍රමයෙන් ඔප්පු වීගෙන යනවා.

බැසිල් රාජපක්ෂට විපක්ෂයෙන් නගන අලුත්ම චෝදනාව තමයි රනිල්ව ජනාධිපති කරන්න සල්ලි විසි කළා කියන එක...

ඔය වගේ චෝදනා හැමදාම එල්ල කරනවා. තමන්ට ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුණාම තමන්ගේ පරාජය විඳ දරාගන්න තරම්වත් ආත්ම ශක්තියක් නැති පුද්ගලයින් කරන ඉතාම පහසු චෝදනාවක් විදිහට තමයි මම එවැනි ප්‍රකාශ දකින්නේ. පරාජයේ ලැජ්ජාව වහගන්න දිගින් දිගටම මෙවැනි චෝදනා එල්ල කරන පිරිස් කළ යුත්තේ තමන්ගේ පරාජයේදී පරාජයට හේතුව හොයලා ඊට පිළියම් කිරීම.

සර්වපාක්ෂික ආණ්ඩුව ගැන මේ දවස්වල කතාබහ වෙනව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔබ පාර්ශ්වය නියෝජනය කරන පිරිස ඒ සම්බන්ධයෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද ජනාධිපතිවරයාට දැක්වුවේ...

හිටපු ජනාධිපති තමයි මුලින්ම කිව්වෙ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවිය යුතුයි කියල. "ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ සර්ව පාක්ෂික රජයක් ගොඩ නැගීම සඳහා අවස්ථාවක් ලබාදීමට තනතුරෙන් ඉල්ලා අස් වෙනවා" කියලා එතුමා අස්වීමේ ලිපියෙත් සඳහන් කරලා තිබුණා. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ. වත්මන් ජනාධිපතිවරයාත් ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න උත්සාහ දරනවා. ජනාධිපතිවරයා සමඟ අපේ පක්ෂයේ සාකච්ඡා කළ අවස්ථාවේදීත් පක්ෂයක් හැටියට ඒ අදහසට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ කියලා අපි කිව්වා. නමුත් කඩිනමින් රටේ ස්ථාවරභාවය ගොඩනැංවිය යුතු නිසා කරන දෙයක් ඉක්මනින්ම කරන්න කියන ඉල්ලීම අපි කළා.

අධිකරණ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න නම් පොදුජන පෙරමුණේ සහය ඊට අනිවාර්යයෙන් අවශ්‍යයි. ඒ සහය ලබාදීමට සූදානම්ද?

ස්වාධීන කොමිෂන්සභා සංකල්පයට අපේ පක්ෂය විරුද්ධ නැහැ. නමුත් 19 වැනි සංශෝධනයෙදි ස්වාධීන කොමිෂන් සභා නමින් පිහිටවූ ආයතනවලට පත්වුණේ ස්වාධීන නිලධාරීන් නෙමෙයි. ඒ නිසා තමයි අපි ඒ අදහසට විරුද්ධ වුණේ. පූජිත් ජයසුන්දරව පොලිස්පති හැටියට පත් කරන්න හිටපු ජනාධිපතිවරයාට කිසිම උවමනාවක් තිබුණෙ නැහැ, කරු ජයසූරියගේ අවශ්‍යතාවයට තමයි ඒ පත්කිරීම වුණේ කියලා පහුගිය දවසක පාර්ලිමේන්තුවේදීත් සනාථ වුණා. ඒ නිසා ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයින් පත් කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහා දේශපාලන හෙංචයියන් නොවන, සැබැවින් ස්වාධීන පුද්ගලයින් පත් කිරීමේ ක්‍රමවේදයකට යායුතුයි. එවැනි තත්ත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එකඟතාවයකට එන්න අපේ පක්ෂයේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් රට ගැන හිතන්නේ නැතිව පුද්ගලයන්ගේ උවමනා එපාකම් සපිරීම සඳහා රටේ නීතිය වෙනස් කරමින්, රටේ ආරක්ෂාව අභියෝගයට ලක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයක් හැටියට අපි එකඟතාවය පළ කරන්නේ නැහැ. මේ සියලු කාරණා ඉදිරියේදී සාකච්ඡා කරලා විසඳුමක් ලබාගන්න හැකියාව තියෙනවා.

ශ්‍රී පොදුජන පෙරමුණ ඇතුළෙත් දැන් බෙදීම් ඇතිවෙලා. ඇත්තටම ඉදිරියෙදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉරණම මොනවගේ වෙයිද?

පක්ෂය තුළ බෙදීමක් තියෙනවා කියන ප්‍රකාශයත් එක්ක මම එකඟ වෙන්නේ නැහැ. නමුත් පක්ෂය තුළ කුඩා කල්ලි කණ්ඩායම් ගැසීමක් දකින්න තියෙනවා. නොමඟ ගිය කණ්ඩායම් වගේම කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ඒ තුළ ඉන්නවා. එ් වුණත් නැවතත් එකතුවෙලා ශක්තිමත්ව දේශපාලනය කරන්න ඔවුන් බොහෝ දෙනෙක් දැන් අපිත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අදටත් මේ රටේ වැඩිම සාමාජිකයන් ප්‍රමාණයක් සිටින වැඩිම සංවිධාන ශක්තියක් තියෙන ප්‍රබලම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඊළඟට එන ඕනෑම මැතිවරණයකදී මේ රටේ සියලු පක්ෂ අභිබවලා වැඩිම ජයග්‍රහණයක් ලබා ගත හැකි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි කියලා අපි දැඩිව විශ්වාස කරනවා. සංවාදය - සුරංග ඉන්දික
 

More News..