brand logo

කුණු පාර්සල් ගැන බාසල්ට පැමිණිලි

28 July 2019

එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ඇති කුණු කන්ටේනර් නැවත හරවා යැවීම සඳහා “බාසල්” සම්මුතිය සම්බන්ධව ජිනීවාහි පිහිටි කාර්යාලය වෙත පැමිණිලි කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික සහ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ අජිත් වීරසුන්දර මහතා “අරුණ”ට පැවැසීය. එහිදී බාසල් සම්මුති කාර්යාලය පැමිණිල්ල සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බව පරිසර අධිකාරිය වෙත දන්වා ඇති බව පැවැසේ. මේ වන විට බි්‍රතාන්‍ය රජයද මේ සම්බන්ධව පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇති අතර මධ්‍යම පරිසර අධිකාරිය විසින් මීට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට අනුබද්ධ ලොව අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් වන බාසල් සම්මුතිය 1989 වසරේ ස්විට්සර්ලන්තයේදී රටවල් ගණනක සහභාගිත්වයෙන් අත්සන් තබා තිබේ. එහිදී බැර ලෝහ සහිත අපද්‍රව්‍ය ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය රටවල් අතර හුවමාරුව සම්බන්ධයෙන් එකඟතාවන්ට එළැඹ ඇත. විශේෂයෙන් සංවර්ධනය වූ රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවලට සහ සංවර්ධිත රටවල් අතර පෙරකී අපද්‍රව්‍ය ප්‍රවාහනය මුළුමනින්ම අත්හිටුවා ඇති බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් අරුණ කළ විමසීමකදී සඳහන් කළේය. මෙම සම්මුතිය සඳහා 1992 වසරේ ශ්‍රී ලංකාවද 1994 වසරේ එංගලන්තයද අත්සන් තබා තිබේ. ඒ අනුව වර්තමානයේ සිදුව ඇත්තේ මෙම සම්මුතිය බරපතළ ලෙස උල්ලංඝනය වීමක් බවද ඒ මහතා කීය. එමෙන්ම යුරෝපා සංගමය සහ එංගලන්තය අතර ඇති විරසකභාවයද ප්‍රයෝජනයට ගනිමින් ගෙන්වන ලද කුණු කන්ටේනර් ආපසු හරවා යැවීමට හැකියාව ඇති බවද කාරියවසම් අවධාරණය කළේය. මේ අතර පරිසර අධිකාරියට අමතරව ජනතාවටද පුද්ගලයන් වශයෙන් මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළ හැකි නම් එය ලොකු බලපෑමක් වනු ඇති බවත් ලිපි ලිවීමේදී භාෂාව සම්බන්ධව ගැටලු පවතින්නේ නම් තමාට ඒ සඳහා මැදිහත්විය හැකි බවත් ඔහු කියයි.
 

More News..