brand logo

කුඩු ගිණුම් සම්බන්ධයෙන් බැංකු නිලධාරියා අද උසාවියට

02 October 2020

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි බැංකු ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා පෞද්ගලික බැංකුවක බෝකුන්දර ශාඛාවේ විධායක නිලධාරියකුට ගල්කිස්ස අධිකරණයේ අද (2 වැනිදා) පෙනී සිටින ලෙස නියෝග කර ඇත. ඩුබායි සිට කුඩු ජාවාරම මෙහෙයවන ධර්මසිරිගේ ගෝලයකු අත්අඩංගුවට ගැනීමත් සමග බෝකුන්දර බැංකුවක ගිණුමකින් හෙළිවූ කරුණු විමර්ශනය සඳහා මෙසේ එම නිලධාරියාට නොතිසි නිකුත් කර ඇත. අදාළ බැංකුවේ මුදල් විශුද්ධිකරණ අංශයේ විධායක නිලධාරියාට මෙම කැඳවීම කර තිබේ. බස්නාහිර දකුණු පළාත් අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා යටතේ ඇරැඹි මෙම විමර්ශනයේදී ගයාන් චතුරංග නමැත්තෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 4990ක් සංසරණය වූ බව හෙළිවිය. එම විමර්ශනයට අදාළව බැංකු නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය විමර්ශනය කිරීමට අධිකරණය කරුණු දක්වා ඇත. කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබිණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා / හේමන්ත ලියනපතිරණ
 

More News..