brand logo

කුඩු ඇද්ද පූසා ඤාව් කියනවාද?

11 August 2020

කුඩු ගැනත්, කුඩු පාතාලය ගැනත් රටේම අවධානය යොමු වෙද්දී, ඒ පාතාලයන් ඇසුරේ හැදී වැඩුණු කුඩු රාජාලියා ගැන කතා වස්තුව ඉකුත් සතියේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යයේද පුවත් මැවූ කරුණක් විය. සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා විසින් ඉන්දියාවේ සිට මෙරටට එවන ලදැයි කී මෙම රාජලියා සොයා ගත්තේ මීගොඩ, නාවලමුල්ල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළකිනි. ඒ පොලිස් බුද්ධි අංශවලට ලැබුණු තොරතුරුවලට අනුව කළ වැටලීමකදීය. එහිදී පොලිසිය ප්‍රකාශ කළේ රාජාලියා මත්කුඩු ජාවාරමට සම්බන්ධද යන්න පිළිබඳ කරුණු විමර්ශනය කරනා බවය. කෙසේ නමුදු කුඩු අදින රාජාලියා පොලිසියේ අතේ රෝලක් බව ගිය සතියේ සති අග අරුණෙන් අනාවරණය කළෙමු. මේ සිදුවීමේ උණුසුම මැකෙන්නටත් පෙරම කුඩු පූසෙකු ගැන අසන්නට ලැබුණේ කොළඹ මැගසින් බන්ධනාගාරයෙනි. මේ කියන සැකකාර පූසාව සොයා ගත්තේ බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශ ජේලර්වරයකු විසින්ය. ඒ සොයා ගන්නා අවස්ථාවේ එම සතාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩු මුලේ හෙරොයින් ග්‍රෑම් 1.7ක ප්‍රමාණයක්, සිම්පත් දෙකක් හා මෙමරි චිපයක් තිබී ඇත. රාජාලියාට මෙන්ම පූසාටද හෙරොයින් ප්‍රවාහන චෝදනාව එල්ල වෙද්දී, පූසා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ භාරයෙන් පැන ගත්තේය. ‘‘වැලිකඩට කුඩු ඇද්ද පූසෙක් අල්ලයි’’ යනුවෙන් සිරස්තල පළ වූ ප්‍රවෘත්තිවල ඊළඟ සිරස්තලය වූයේ හෙරොයින් ඇද්ද බවට සැක කෙරෙන පූසා අතුරුදන් බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි යනුවෙනි. පූසා පැනගොස් තිබුණේ ඌ බන්ධනාගාරයේ කාමරයක රඳවා සිටියදී ඒ පිළිබඳ විමර්ශන කරන අතරතුරදීය. එසේ පැනයන්නට බළලා සිතන්නට ඇත්තේ ඒ උගේ ගති ස්වභාවය නිසා නොව, බැරි වෙලාවත් කුඩු මුල ගෙනයමින් සිටියේ කවර රැඳවුවකුටද යන්න පොලිසිය හෝ බන්ධනාගාර නිලධාරීන් විමසුවහොත් දෙන්නට උත්තරයක් නැති නිසා වෙන්නැතිය. වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ගතහොත් එහි ආහාර සැකසුම් අංශ ආසන්නයේ බළලුන් තිහක හතළිහක සංඛ්‍යාවක් දෛනිකව ගැවසෙන බව කියති. ඒ උන් කන්නේ හිරගෙදර කුස්සියෙන් ඉවත ලද කෑම නිසාය. එම බළලුන් කාලයක් බන්ධනාගාරය අසල ගැවසෙන උන් වන අතර ඇතැම් බළලුන් බන්ධනාගාරයෙන් පිටත සිටද කෑම සොයා එන බව කියති. මෙම සැකකාර පූසාද අත්අඩංගුවට පත්වන්නේ බන්ධනාගාර පරිශ්‍රය තුළ බැවින්, යම් රැඳෙවුවේකුට කුඩු ගෙන යාම සඳහා ඌට පුහුණුවක් ලබාදී ඇද්ද යන්න විමර්ශනය කෙරෙන බව පැවසුණි. සැකකාර පූසා අතුරුදන් වන්නේ ඒ විමර්ශන සඳහා ඌ බොරැල්ල පොලිසියට භාරදීමට නියමිතව සිටියදීය. ඒ පිළිබඳව අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) චන්දන ඒකනායක සඳහන් කළේ අතුරුදන් වූ බළලා යළිත් එම පරිශ්‍රය තුළ සිටින බවයි. කෙසේ නමුත් මෙම පූසා යළි සොයා ගැනීමත් සමග මැගසින් බන්ධනාගාරය අසල සිටි අනෙකුත් බළලුන් එම පරිශ්‍රයෙන් ඉවත් කර ඇතැයි සඳහන්ය. මේ කියන කුඩු පූසා ගැනත්, පාතාලය ඇසුරේ සිටි කුඩු ජාවාරමට සම්බන්ධ යැයි කී රාජාලියා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පෝස්ට්ටු දකින්නට ලැබිණි. ඉන් එක් පෝස්ටුවක දැක්වූයේ අදාළ පූසා මාධ්‍ය හමුවකට ගොස් කී දේය. ඌ සිටියේ ඇස්වල කඳුළු පුරෝගෙනය. ‘‘පෙරුංකායම් කියලයි බෙල්ලේ බැන්දෙ මහත්තයෝ.’’ යන්න එහි දැක්විණි. පූසා උසාවි දාන්නත්, කලින් ඇප අරන් මාරුවී ඇතැයි තවත් පෝස්ටුවක තිබිණි. උකුස්සන්ට රාජාලින්ට හා පූසන්ට දැන් පෞද්ගලික අංශයේ රැකියා විවරව ඇතැයි කියන පොස්ටු අතරේ, රාජාලියා කූඩුවේ සිට කියන්නේ කුඩු දෙන්න දාහක් දෙනා සිටියත් ඇප දෙන්නට එකෙක් නැති බවයි. තම සුරතල් පැටවාට උපදෙස් දෙන පූස් මව කියන්නේ මහන්සි වී මීයන් අල්ලන්නට ඉගෙන ගන්නා ලෙසත් නැත්නම් කුඩු විකුණන්නට සිදුවන බවත්ය. ඊළඟ එක බලු පෝස්ටුවකි. බල්ලා මාධ්‍ය හමුවක් තියමින් කියන්නේ, මේක හරිම කෲර ලෝකයක් මහත්තයෝ. අපි නහය අතුල්ලගෙන, අත පය ලෙලි ගහගෙන කුඩු හොයනවා. මේ වල් පූසො ඒවා විකුණනවා යන්නයි. මේ ආකාරයෙන් විවිධ පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම සැරි සරන්නට විය. කුඩු ගෙනයාමට යොදාගත්තා යැයි පොලිසිය කියන රාජාලියා මේ වන විට සිටින්නේද දෙහිවල සත්වෝද්‍යානය භාරයේයි. ඒ ඉකුත් 31 වැනිදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු තීන්දුවකට අනුවය. හෝමාගම මහෙස්ත්‍රාත් නිලිපුලී ලංකාපුර නියෝග කොට ඇත්තේ අදාළ රාජාලියා ආරක්ෂිත සත්ත්වයකු ද යන්න විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් ඊළඟ නඩු දිනයදා උසාවියට ඉදිරිපත් කරනා ලෙසයි. ඊට අමතරව රාජාලියාට එල්ල වූ කුඩු ප්‍රවාහන චෝදනාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කරන බවට පොලිසිය සඳහන් කළත් ඒ පිළිබඳ ප්‍රගතිය ගැන තවමත් අසන්නට නැත. දැන් ගෙදර හදන අහිංසක පූසාට ද ඇත්තේ එවැනිම චෝදනාවකි. පොලිතින් කොළයක දවටන ලද කුඩු මුලක් ගෙලෙහි වූයෙන් ඌට නැගෙන චෝදනාව රාජාලියාට නැගුණු චෝදනවාට වඩා බරපතළය. ඒ මේ පාර හොරා අසුවුණේ බඩුත් එක්ක බැවිනි. කෙසේ නමුත් රාජාලියකු ලෝකේ කොතනකවත් කුඩු ප්‍රවාහනයට යොදා ගත් බවට සාක්ෂි නැතැයි පක්ෂි විද්‍යාඥයන් පෙන්වා දුන්නේ මේ තුළ වන උභතෝකෝටිකය නිසාය. විශේෂයෙන්ම ගෙදර ඇති කරන අහිසංක බළලුන් දිහාද වපර ඇසින් බලන්නට ගියහොත් සිදුවන්නේ අවැඩකි. සුනඛයන් යම් යම් ප්‍රවාහන කාර්යයන් සඳහා පුහුණු කළ හැකි නමුත්, බළලෙකුට නිශ්චිත තැනකට යමක් ගෙන යාමට හැකි පරිදි පුහුණුවක් ලබාදිය හැකිද? අප ඒ පිළිබඳව විමසුවේ අම්බලන්තොට ඩොක්ටර් ​වෙට් සත්ත්ව රෝහලේ පශු වෛද්‍ය ප්‍රියසාද් වීරවර්ධනගෙනි. ‘‘ඔය සිදුවීම ගැන ප්‍රවෘත්තිය ගත්තම, අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. එහි පළමුවැනි කාරණය තමයි ගෙදර අපි බළලෙක් හැදුවට, බල්ලා ගැන කියවෙන තරම් ළඟ සම්බන්ධයක් පූසෙක් එක්ක තියාගන්න අමාරුයි. පූසෙක් කියන්නෙ යම් දෙයක් ගැන පහසුවෙන් උගන්වන්න පුළුවන් සතෙකුත් නොවෙයි. බල්ලන්ට වඩා මේ සතා බයයි. බය හිතෙන දෙයක් දැක්කොත් උන් හිටි තැන් අමතක වෙලා දුවනවා. හැබැයි පූසට හොඳ ඉවක් තියෙනවා. මාළු ලෑල්ලකින් මාළු කන්න පුරුදු වුණොත් දිනපතා එතනට යනවා. ගෙදරකින් කෑම කන්න පුරුදු වුණත් එහෙමයි. උපතේ සිටම ඒ පුරුදු පූසට හුරු නම් තමයි ඊට යොමුවෙන්නෙත්. හානිකර පරිසරයකින් ඉක්මනින් අයින් වෙනවා. ඒ අනුව යම් නිශ්චිත තැනකට කුඩු ගෙන යන්න හෝ වෙනයමක් අදාළ පුද්ගලයා වෙතටම ලබා දෙන්න තියෙන ප්‍රවණතාව ඉතාම අල්පයි. ගෙදර ඇති කරන පූසෙකුගේ බෙල්ලේ නූලක් ගැට ගැහුවත් ඌ දඟලලා එය ගලවා ගන්නවා. තියුණු නියපොතු ඊට උපකාරී වෙනවා. ඒ අනුව කුඩු මුලක් ගෙලේ ගැටගහද්දී එයා ඒක ගලව ගන්නයි දඟලන්නේ. අපි හිතමු යම් තැනක පූසෙක් ඉන්නවා. එයාව පෙට්ටියක දාලා ගිහින් යම් දුරක අතහැරියොත් මුල් වාසස්ථානයට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ප්‍රවණතාව 5%ක් වගේ. ඒ නිසාම කුඩුවල වටිනාකමයි, එය යම් අයකු අතට නිශ්චිතව පත් කළ හැකිද යන කාරණය සැලකිල්ලට ගත්තද පූසෙක් මේ වගේ කාරණයකට යොදා ගත හැකිද යන ගැටලුව තියෙනවා. ඔහු පවසන්නේ අන්තර්ජාතික මට්ටමෙන්, ටයිම් බෝම්බ තැබූ පූසන් ගැන කියවුණ අවස්ථා ඇතත් දිගින් දිගටම බළලුන් මෙවැනි කාරණා සඳහා පුහුණු කිරීම දුෂ්කර කාර්යයක් බවයි. කෙසේ නමුත් පූසාත් රාජාලියත් දැන් සොත්ති උපාලිලා, කඩුවෙල වසන්තලා, අංගොඩ ලොක්කා, මාකඳුරේ මදූෂ්ලාගේ පරපුරට එක්වී ඇති බව සිතන්නට සිදුව ඇති පසුබිමක අපට කියන්නට සිදු වන්නේ ලංකාවේ පොලිසිය ගොරක දඩමස් කරන්නට බොහෝ දක්ෂ බවය. ලංකාවේ පොලිසිය ගැන කියවෙන විහිළු කතාවක් ඇත. ඒ විහිළු කතාවේ හැටියට වරක් ඇමෙරිකාවේ ජාත්‍යන්තර පොලිස් සමුළුවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පොලිසියද ඊට එක්වූවේය. එහිදී කැලේට පැන ගිය හාවකු සොයන්නට ඇමෙරිකානු ෆෙඩරල් පොලිස් කණ්ඩායමක් සහ ස්කොඩ්ලන්යාඩ් පොලිස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමද කැලයට ගියෝය. හාවාට කුමක් වූයේ දැයි සොයා යද්දී තණකොළ පොඩිවී හාවාගේ ලොම් වැටී තිබුණු ස්ථානයක් දුටු ෆෙඩරල් පොලිස් කණ්ඩායම කිව්වේ හාවා කුමන හෝ සතෙකුගේ ගොදුරක් වී ඇති බවයි. ස්කොට්ලන්යාඩ් පොලිසිය තවත් ටිකක් කරුණු විමසා බලා හාවා තමා ගොදුරු කර ගන්නට ආ සත්ත්වයාගෙන් මිදී පලා යන්නට ඇතැයි කීවේය. දැන් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමේ වාරයයි. ඔවුන් ගියේ හාවා හොයන්නට නමුත් කැලේ සිටි වලහෙකු අල්ලා ගෙන අනෙක් පොලිස් කණ්ඩායම් දෙක ඉදිරියේ පෙනී සිටියේය. මේ මොකදැයි ඔවුන් අසද්දී ශ්‍රී ලංකා පොලිසිය වලහා දෙසට හැරුණෝය. ‘‘ඇත්ත කියපන්’’ ඔවුහු අණ කළහ. ‘‘ඔව්. මං තමයි හාවා.’’ හොඳටම ගුටි කා මුහුණ තඩිස්සි වී සිටි වලහා අන්තිමට කීවේය. මේ යන විදියට ගියහොත් පූසාට දෙන්නට ඇත්තේ ද ඒ වගේම උත්තරයක් බව පැහැදිලිය. දීපා වසන්ති එදිරිසිංහ
 

More News..