brand logo

කි. මී. ලක්ෂයක් හදන්න ගස් ලක්ෂ 2ක් උගුල්ලන්න යයි

25 September 2020

ගස් උගුල්ලා වෙනත් ස්ථානයක ප්‍රතිරෝපණය කිරීම සඳහා යොදාගත හැකි යන්ත්‍ර දෙකක් විදෙස් රටකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත. සංවර්ධනය නොවූ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේදී ගස් ලක්ෂ දෙකක් පමණ කපා ඉවත් කිරීම සිදුවන බැවින් එම තීරණය ගෙන තිබේ. පරිසර ඇමැතිවරයා සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පෙරේදා (23 වැනිදා) පැවැත්වුණි. ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ එම සාකච්ඡාවේදීය. සංවර්ධන ව්‍යාපෘතිවලදී ගස් කපා ඉවත් කිරීම නිසා පරිසර සුරක්ෂිතතාවට බලපෑමක් එල්ල වී ඇතැයිද මෙහිදී කීවේය. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංවර්ධනයේදී කිලෝමීටරයට ගස් දෙකක් කපා දැමීමත් අඩු තරමින් ගස් ලක්ෂ දෙකක් විනාශ වීමත් සිදුවනු ඇත. එම ගස් ආරක්ෂිතව ගැලවීමට අවශ්‍ය යන්ත්‍ර දැනට විදේශ රටවල නිපදවා ඇති බැවින් අඩු කරමින් එවැනි යන්ත්‍ර දෙකක්වත් කඩිනමින් මිලදී ගැනීමට තීරණය වී තිබේ. මෙම වසරේදීම මෙම යන්ත්‍ර ගෙන්විය යුතු යැයිද ඇමැතිවරයා පවසා ඇත. ගස් ප්‍රතිරෝපනය කිරීම පරිසර හිතකාමීව සිදුකළ හැකි බවත්, මේ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇති පාර්ශ්ව තමන් සමග සාකච්ඡා කළ බවත් එමනිසා මෙම වැඩපිළිවෙළ අරඹන බවත් ඇමැතිවරයා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට දැනුම්දී තිබේ. සාලිය කුමාර ගුණසේකර
 

More News..