brand logo

කිසිම වාණිජ බැංකුවක් වහන්න බැහැ

08 June 2021

සියලුම වාණිජ බැංකු සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේ. පවතින කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් මෙම සතියේ සිය සේවා කටයුතුවලින් ඉවත්වන බව පෞද්ගලික වාණිජ බැංකු රැසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඊයේ (07 වැනිදා) පස්වරුවේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මහ බැංකුව මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කොවිඩ් මාර්ගොපදේශයන්ට යටත්ව සියලුම වාණිජ බැංකු අඛණ්ඩව සිය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යායුතුය. එම අත්‍යවශ්‍ය සේවා අතර වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම, භාණ්ඩාගාර කටයුතු, චෙක්පත් මුදල් බවට පත්කිරීම ඇතුළු කටයුතු වේ. මෙම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා සියලුම බැංකු ශාඛා ,15කට නොවැඩි සේවක පිරිසක් පමණක් කැඳවිය යුතුය. එසේ පවත්වාගෙන යන බැංකු කටයුතු පිළිබඳව ආසන්නම පොලිසිය දැනුවත් කර බැංකු කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන කටයතු සම්බන්ධීකරණය කළ යුතුවේ. අදාළ චක්‍රලේඛයට අනුව සියලුම බැංකු තමන් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා පිළිබඳව දැන්වීම් මාර්ගයෙන් දැනුවත් කළ යුතුය. එසේම ගනුදෙනුකරුවන්ට සේවා සපයාගත හැකි දුරකථන අංක ප්‍රදර්ශනය/දැනුවත් කළ යුතුය. එසේම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික සහ අන්තර්ජාල බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යායුතු බවද මහ බැංකුව සියලුම වාණිජ බැංකු වලට නියෝග කර ඇත. නයන තරංග ගමගේ
 

More News..