brand logo

කිසිම චරිතයක් වෙනුවෙන් කැරලි කොණ්ඩෙ වෙනස් කරන්නෙ නෑ

16 January 2021

‘ඉන්ටර් නැෂනල්’ ටෙලි නාට්‍යයේ ‘මීනු’ කියන්නෙ කවුරුත් ආදරය කරන අවිහිංසක සරල යුවතියක්ත ඇගේ ඇඳුමට පැලඳුමට චාම් බවට දැන් ගොඩක් දෙනෙක් බැඳිලා. ඒ අතර ටාෂිගේ චරිත අතරට ‘දාම්’ ටෙලි නාට්‍යයේ ෂනායාගේ චරිතයත් එකතු වුණා. ඇත්තටම ඇය කවුද? මෑත කාලයේ බොහෝ සිත්වල මතුවුණ ප්‍රශ්නයක් ඒ. ඇය ටාෂි කාලිදාස. තවමත් රංගනට කෝඩුකාරියක් වුවත් ටාෂිට බොහෝම ඉක්මනින් ප්‍රතිචාර ලැබෙන්න පටන් අරන්. ටාෂි රංගනයට එක්වෙන්නේ කොහොමද? ඉන්ටර් නැෂනල් තමා මම රඟපාපු පළවැනි ටෙලි නාට්‍යය. ඒත් 2019 පටන් මම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 10 ක පමණ නිරූපණයේ යෙදිලා තියෙනවා. ඒ අතරෙ අපේ අම්මිගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් දුලීකා මාරපන මහත්මිය මට ඉන්ටර් නැෂනල් ටෙලි නාට්‍යයේ මීනු කියන චරිතයට කතා කරලා තිබුණා. මීනු නිසා දැන් ටාෂිට ප්‍රතිචාර ගොඩක් තියෙනවද? මාස්ක් දාගෙන යන නිසා ගොඩක් අය පාරෙදි මාව හඳුන ගන්නෙ නැහැ. හැබැයි සෝෂල් මීඩියාවලින් මට නිතරම රසික රසිකාවියන් ප්‍රතිචාර දක්වනවා. ගොඩක් අය කියන්නේ ටීවී එකේ දකිනවට වඩා සෝෂල් මීඩියා එකෙන් දකිත්දි මම වෙනස් කියලයි. මොකක්ද ඒ වෙනස? ටාෂි, මීනු වගේ නෙවෙයිද? නැහැ, මීනු මට වඩා ගොඩක් වෙනස්. එයා පොඩි ළමයින්ට ආදරය කරන පොඩි ළමයි බලාගන්න කෙනෙක්. මම නම් පොඩි ළමයින්ට එච්චර ආස නැහැ. අනිත් කාරණය මීනු කියන්නේ ගැමි විදිහට අඳින පලඳින, හරිම නිහතමානී, හැම දෙයක් දිහාම සාධාරණ විදිහට බලන යුවතියක්. මම එහෙම නැහැ. මම ගොඩක් බටහිර පන්නට අඳින පලඳින, සරල විදිහට හිතන පතන කෙනෙක්. මීනු වයසිනුත් මට වඩා වැඩිමහල් කෙනෙක්. මට තවම වයස අවුරුදු 16යි. මේ වෙද්දි ටාෂිට මීනුගේ චරිතය හැර තවත් නිර්මාණ ලැබිලා තියෙනවද? ඔව්, ඉන්ටර් නැෂනල් ටෙලි නාට්‍යයේ රඟපාන අතර මට ධනුෂ්ක රත්නායකගේ දාම් ටෙලි නාට්‍යයේ ෂෙනායාගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ අරුණ ජයවර්ධනගේ චිත්‍රපටයේ නතාලියා කියන චරිතය. ටාෂි කොළඹ ඉපදුණ කෙනෙක්ද? නැහැ, මගේ ගම නුවර. නුවර අම්පිටිය ලෙක්ෂිකන් ජාත්‍යන්තර පාසලෙන් තමයි මම අධ්‍යාපනය ලැබු​ෙව්. මේ වෙද්දි මම සාමන්‍ය පෙළ අවසන් කරලා 2022 දී පෞද්ගලික අයැදුම්කාරියක විදිහට උසස් පෙළ විභාගයට පෙනී සිටින්න නියමිතයි. ටාෂියාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ගැනත් කියන්න... අපේ පවුලේ අම්මයි, තාත්තයි,මායි, අක්කයි ඉන්නේ. අක්කා චීනයේ උසස් අධ්‍යාපනය ලබනවා. තාත්තා සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයක් කරනවා. අම්මා ගෘහණියක්. ටාෂි නිළියක් වෙන්නෙ හිතපු නැති විදිහටද? ඔව්. මේ ගැන මගේ කිසිම අදහසක් තිබුණෙ නැහැ. ඉන්ස්ටග්‍රෑම් එකේ මගේ ඡායාරූප දැකලා තමයි මුල්ම වෙළෙඳ දැන්වීමට මට කතාකළේ. වෙළෙඳ දැන්වීම්වල නිරූපණයේ යෙදුණත් මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා හිතුණෙ නැහැ. අම්මයි, තාත්තයි මම රඟපානවට කැමැතියි. නමුත් මගේ අරමුණ කවදාහරි ගුවන් සේවිකාවක් වීමයි. මම උසස් පෙළට භාෂා හදාරන්නෙත් ගුවන් සේවිකාවක් වෙන්න එය සුදුසුකමක් නිසයි. ටාෂිට ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් කියල හිතෙනවද? ඕනම චරිතයක් කියන්නේ කොණ්ඩය තට්ටය ගාන චරිත නම් මං කරන්නෙ නැහැ. මගේ කැරලි කොණ්ඩය නිසා තමයි මට චරිත හම්බ වෙන්නේ. මේ කැරලි කොණ්ඩය දික් කරගන්න අමාරුයි. ඒ නිසා කොණ්ඩය කොටට කපන්න වෙන චරිත නම් කරන්නේ නැහැ. තව අඩ නිරුවත් චරිත හැර අනිත් ඕනම විදිහේ චරිතයක් කරන්න පුළුවන් කියලා හිතනවා. විශේෂයෙන්ම දුෂ්කර පළාතක ජීවත් වෙන ගැමි යුවතියකගේ චරිතයක් රඟපාන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නවා. කැරලි කොණ්ඩ තිබූ බොහෝ නිළියන් එම හිසකෙස් වෙනස් කරගනිත්දිත් ඔබ ඇයි මේ කොණ්ඩය මෙහෙම තියාගන්න හිතන්නේ? මම නම් කවදාවත් මගේ කොණ්ඩය ස්ට්‍රේට් කරන්නෙ නැහැ. මම මේ කොණ්ඩයට ආසයි. ටාෂි, ෂූටිංවලට නුවර ඉඳන්ද කොළඹ එන්නේ? පහුගිය දවස්වල අපි කොළඹ නැවතිලා හිටියාා. දැන් කොරෝනා නිසා කොළඹ නවතින්න බැරි නිසා ගෙදර ඉඳන් ෂූටිංවලට එනවා. අනාගතයේ අපි කොළඹින් එපාර්ට්මන්ට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. රංගනය කියන්නේ ටාෂිට පහසු දෙයක්ද? ඔව්, මට ලැබුණ චරිත පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වුණා. අනික මම වැඩ කරපු කණ්ඩායම්වල ප්‍රවීණ ශිල්පීන්ගෙන් මට හොඳ සහායක් ලැබුණා. හැමෝමත් එක්කම විහිළු කරගෙන ඉන්න කෙනෙක් මම. ගොඩක් අය කියනවා ලොකුකම කියලත්. එහෙම කියන්නේ වැඩිය කතා කරන්නෙ නැති නිසා. ටාෂි පෙම්වතියක්ද? මට තවම වයස 17 යිනේ. තවම මම ඒකට සුදුසු නැහැ කියලා හිතනවා. ටාෂි අනුගමනය කරන නිළිය කවුද? එහෙම කෙනෙක් නැහැ, මං කැමැති මං වගේ වෙන්න. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..