brand logo

කිලිනොච්චියේ සිට පැය හයෙන් කොළඹට ආ පරෙවියෝ

04 March 2019

ඉලක්කය තම හාම්පුතාය. නිදහස් කළ සැණින් සැතපුම් දහස් ගණනක් වුව පසුකර යන්නේ හාම්පුතා සොයාගෙනය. කුමන බාධක ආවත් ජයගන්නට ශක්තියක් ඔවුන්ට තිබේ. ඇතිය. අව්, වැසි සුළං පරයා නැගී සිටින මොවුනට තම හාම්පුතා ඇති ඉසව්ව හඳුනා ගන්නට යන්නේ කෙටි කාලයකි. ඒ තරමට ඔවුන් බුද්ධිමත්ය. වේගවත්ය.
ලංකාවට ගෙන ආ මොහොතේ කටුනායකින් පැන ජර්මනියෙන් මතුවන්නේත් මේ කියන බුද්ධියත්, මතකයත් නිසාය.
අප මේ කියන්නේ සැතපුම් දහස් ගණනක් දුරට ගෙන ගොස් අතෑරියත් තමන්ගේ හාම්පුතා සොයා ඉගිලී යන කුරුලු විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති පරෙවි විශේෂයක් ගැනය.
ධනවතුන්ගේ මන්දිර තුළ හැදී වැඩී සැපවත් ජීවිතයක් ගත කරන මොවුන්ගේ පෙළපත පළමුවන ලෝක යුද්ධය දක්වා දිවයයි.
එදා පළමුවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ ජර්මානු බළ ඇණිවලට මෙන්ම ප්‍රංශ හමුදාවටත් පරෙවියාගෙන් ඉටු වූ කාර්යභාරය සුළුපටු නොවන්නේය. පණිවුඩ එහා මෙහා ගෙන යෑමේ සිට වෙඩි බෙහෙත් ගබඩා විනාශ කිරීමටත් ආහාරවලට විෂ මුසු කරන්නටත් පරෙවියා දැක්වූ දායක්ත්වය අතිමහත්ය. පළමු වැනි ලෝක යුද්ධයේදී සතුරු හමුදා අතින් වැනසෙන්නට ගිය ප්‍රංශ හමුදාවේ නැව් රැක ගන්නට මෙහෙයක් කළ පරෙවියකුට ප්‍රංශ රජයෙන් වීර පදක්කමක්ද පිරිනැමූ වග ඉතිහාසයේ සඳහන්ය.
මේ අයුරින් එදා ප්‍රංශ හමුදාවට හා ජර්මන් හමුදාවට තම සේවය ලබාදුන් පරෙවි පරම්පරාවෙන් පැවැත එන මී මුනුබුරන්ගේ ජාන ඇති පරෙවියන් ලංකාවටත් ගෙනවිත් ඇති වග කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත.
රුපියල් ලක්ෂ දහය පහළොව එක් පරෙවි ජෝඩුවක් වෙනුවෙන් වෙන් කර මෙරටට ගෙන්වන ධනපතියන් කොළඹ සමාජයේ සිටින්නේය. ඔවුන්ගේ විනෝදාංශය මේ කියන පරෙවියන් ඇති කිරීමය.
යුරෝපයෙන් ගෙන්වන කෑම වර්ග, විටමින් වර්ග සමගින් සුවිසල් මන්දිර තුළ සැපට හැදෙන මේ පරෙවියන් යොදා ගන්නේ විනෝදාංශයට මිස වෙළෙඳාමට නොවීම විශේෂත්වයකි. හොඳින් පුහුණුව ලද පරෙවියකු සැතපුම් දහස් ගණනක් ඈතට ගෙන ගොස් දැමුවද තම හාම්පුතා සිටින නිවහන වෙත හැකි තරම් ඉක්මනින් පැමිණීම මේ කියන පරෙවි වර්ගයේ විශේෂත්වයයි.
රේසින් හෝමර්ස් ප්‍රභේදයට අයත් කුරුල්ලන් ප්‍රංශයට හා ජර්මානු හමුදාවලට අයත් පරෙවි පරම්පරාවෙන් බිහි වූ විශේෂයකි. හෝමිං පිජන්ස් යනුවෙන්ද හැඳින්වෙන මෙම පරපුරේ පරෙවියන් සැබැවින්ම වේගවත් හා දක්ෂ පරෙවි විශේෂයකි. ධනවතුන් විසින් ඇති කරන පරෙවියන්ගේ කකුලට රන් මුදු පවා ගැට ගසා ඉහළ අහසට මුදාහරින්නේ කෙතරම් දුරගියත් ඒ පරෙවියා හාම්පුතාව සොයාගෙනම එන බවට ඇති විශ්වාස නිසාය.
මේ කියන අලුත්ම පරෙවි විනෝදාංශය ගැන කතාබහට ලක්වූයේ පසුගිය සතියේ 17 දා කිලිනොච්චියේ 57 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි පරෙවි ධාවන තරගය නිසාය. මෙම පරෙවි ධාවන තරගයට කොළඹ කේන්ද්‍ර කරගත් ධනවත් ව්‍යාපාරිකයන් සෙවණේ හැදී වැඩුණු පරෙවියන් 241ක් රැගෙන ආවේ කොළඹ ධාවන පරෙවි සංගමයයි.
මෙම අවස්ථාව කිලිනොච්චියේ වැසියන්ටද දැක බලා ගැනීමට අවස්ථාවක් උදා කර දීමත්, රැකියා විරහිත තරුණයන් අතරේ මෙම ක්‍රීඩාව ප්‍රචලිත කිරීමත් යුද හමුදාව මෙයට මැදිහත් වීමට හේතුව විය. එදා කිලෝමීටර් 333ක් දුරින් කිලිනොච්චියෙන් මුදා හළ පරෙවියන් උඩු ගුවනේ දිග් විජය පාමින් පැය හයකට පසුව කොළඹ පිහිටි තම හාම්පුතුන් කරා ඇදී එන්නේ තවත් පියවරක් ඉදිරියට තබමිනි.
කොළඹ ධාවන පරෙවි සංගමය 2017 දී ආරම්භ කළ පසුව පැවැත්වූ දෙවැනි ඉසව්ව මෙය වෙයි. මීට පෙර පසුගිය වසරේ අගෝස්තුවේ පුත්තලමට ගොස් මේ අයුරින්ම පරෙවියන් 192ක් මුදා හලහ. ඒ පරෙවියන් නිරුපද්‍රිතව තම හාම්පුතුන් සොයා නිවෙස්වලට පැමිණියේ එය අාවේණික ලක්ෂණයක් නිසාය.
මෙවර කිලිනොච්චියේදී උඩු ගුවනට මුදා හල පරෙවියන් 241 දෙනාගෙන් 214ක් පමණ යළි ආවේය. ඉතිරි පරෙවියන් උඩු ගුවනේදී රාජාලියන්ගේ ආක්‍රමණයකට වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඒ බව තහවුරු වූයේ රාජාලි ප්‍රහාරයට ලක්ව තුවාල වූ පරෙවියන්ද තම හාම්පුතුන් සොයා ආ අය අතර සිටි නිසාය.
මෙම තරගවලට ඉදිරිපත් කරන පරෙවියන් විදෙස් රටවල නමගිය පෙළපත්වලින් බිහි වූ පරෙවියන් වීම විශේෂම කාරණාවකි. ජර්මනිය, බෙල්ජියම, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඇමෙරිකාව, එංගලන්තය ඇතුළු රටවල් රැසකින් මෙම පරෙවි විශේෂයන් මෙරටට ගෙන එනු ලබන්නේය. තමන්ගේ හාම්පුතාට මෙම පරෙවියන් කොතරම් ලැදිද කියතොත් වරෙක කටුනායක ගුවන් තොටුපොළෙන් පැනගත් පරෙවි ජෝඩුවක් ජර්මනිය බලා නැවත පියාසර කර තිබුණේය. ඒ තම හාම්පුතා සොයා ගෙනය.
විනෝදාංශයට මෙවැනි වටිනා පරෙවියන් ඇති කරන වත්තල ධනවත් ව්‍යාපාරිකයකු වන ලොනිද ලැනරෝල් මහතා මෙරටට ගෙන්වූ පරෙවි ජෝඩු කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළ සත්ත්ව නිරෝධායන ඒකකය භාරයේ තිබුණේ මෙරටට ගෙන ආ ඕනෑම සතකු නිරෝධායනය කරන ආකාරයටය.
කටුනායක නිරෝධායන ඒකකයේ කූඩුවලින් පැනගත් පරෙවි ජෝඩුව ජර්මනිය දක්වා පියාඹා තම ස්වාමියා සොයායන්නේ ඉන් පසුවය. එ් බව තහවුරු වන්නේ ජර්මනියෙන් පරෙවියන් මෙරටට එවූ ජර්මානුවා විසින් පරෙවියන් දෙදෙනකු නැවත පැමිණ ඇති බව මෙරටට දැන්වූ විටය. විසි වසරක් පමණ විනෝදාංශය සඳහා පරෙවි විශේෂ හදාගන්නා ලැනරෝල් මහතා සන්තකයේ දැනටමත් සිටින පරෙවියන් ද විදෙස් රටකට වුව පියාඹා යළි එන්නට හැකියාවක් ඇති උන්ය. කිලෝමීටර් එක්දහස් පන්සියය - දෙදහස පියාඹන පරෙවියන් යුරෝපයේ සිටින්නේය.
ලංකාවට මෙවැනි පරෙවි විශේෂ හඳුන්වා දුන්නේ වත්තල ලැනරෝල් මහතා, ඉංගිරියේ ඩිලාන්ජන් මහතා වැනි ධනපති ව්‍යාපාරිකයන්ය.
තාක්ෂණික මෙවලම් නැතත් ලොව නැණවත්ම කුරුල්ලකු වන පරෙවියාට සැතපුම් දහස් ගණනක් ගෙවාගෙන තමන්ගේ ගමනාන්තයට යෑමේ පුදුමාකාර හැකියාවක් තිබෙන්නේය.
‘‘මෙයාලගේ මොළය බයෝලොජිකල් මැප් එකක් වගේ උතුර දකුණ සොයාගෙන යන්න පුළුවන්. යම් තැනකින් නිදහස් කළාම වටපිට කැරකිලා තමන් යන පාත් එක හොයාගෙන නවතින්නේ නැතිව එක එල්ලේ පියාඹනවා. පරෙවියෝ කලින් ඉගිල්ලෙද්දි හඳුනාගත් තැන්, ගොඩනැගිලි මගින් හරි පාත් එක දිගේ එනවා. හරි පාත් එකට වැටුණු ගමන් පියාඹන වේගය වැඩි කරනවා. මේ පරෙවියෝ කොච්චර පරෙවි රෑන් දැක්කත් එයාගේ හාම්පුතා සොයාගෙන මිසක් කොහාටවත් යන්නේ නැහැ. යැයි කොළඹ ධාවන පරෙවි සංගමයේ උපසභාපති කෝසල ප්‍රනාන්දු මහතා අප හා පැවසුවේය. මෙම තරග ඉසව්ව සංවිධානය කිරීමද ලේසි පහසු වගකීමක් නොවන්නේය.
‘‘අපි තරගයට කලින් දවසේ අයිතිකරුවන්ගෙන් පරෙවියෝ ටික ගන්නවා. ඒ ගද්දි එයාලා කන්න දීලයි ගේන්නේ. අපි සතාගේ වගකීම ගත්තට පස්සේ කුරුල්ලා අහසට ඉගිල්ලෙන තෙක් අපි ආරක්ෂිතව බලාගන්නවා. එයාලව  වෙනමම සීරියල් නම්බර්වලට රෙජිස්ට්‍රර් කරලා ගෙනියන කූඩුවලට දාලා සීල් කරනවා. අපි මේ හැම දෙයක්ම වීඩියෝ කරලා ෆේස්බුක් හරහා අයිතිකරුවන්ට බලන්න සලස්වනවා. ඉවෙන්ට් එකට කලින් කුරුල්ලන්ට දෙන වතුර බෝතලේ පවා අපි සීල් කරනවා යැයි කෝසල ප්‍රනාන්දු කියන්නේය. එවන් ක්‍රියාදාමයකින් පසුව පරෙවියකු පියාඹන්නට පෙර පූර්ව පරීක්ෂාවකටද ලක්කරන්නේය. පරෙවියකුට එක් අත්තටුවකට පිහාටු දහයක් තිබීම අනිවාර්ය කාරණාවකි. පිහාටු එකක් හෝ හැලී ඇත්නම් පියාඹන්නට දෙන්නේ කිලෝමීටර් පනහක් පමණය. එසේ නොවුණහොත් පරෙවියා තෙහෙට්ටුවට පත්වී හෘදයාබාධයක් වුව වැලඳීමට ඉඩ ඇත්තේය.
විවිධ පෙළපත්වලට අයත් පරෙවි ජෝඩු විදෙස් රටවලින් ගෙන ආ පසුව බිත්තර දමන කාලයට පැටව් බෝකර ගැනීමට වෙනමම වෙන්කර තැබෙන්නේය. මෙරටදී උපත ලබන පැටවුන්ට වෙනමම කේත අංක යොදන්නේය. ඒ අනුව SL යනුවෙන් ශ්‍රී ලංකා ලෙස හඳුනා ගැනීමට ඉංග්‍රීසි අකුරු මුලට දමා අංක යෙදීම සිදුකරයි.
මෙසේ උපත ලබන පරෙවි පැටව් මීළඟට තරග සඳහා පුහුණු කරන්නට ගන්නේ දවස් තිහකින් පසුවය. ඒ වන විටත් තෙල් අධික රටකජු, තල ඇතුළු ධාන්‍ය වර්ගවලට හුරු කර ගන්නේය. සෑම සති අන්තයකම විවිධ පෙදෙස්වලට රැගෙන ගොස් පරෙවියන් මුදාහරින්නේ හාම්පුතා සොයායන්නට පුරුදු කරන්නටය. මෙම සෑම පරෙවියකුටම චීනයෙන් ගෙන් වූ විශේෂ මුදුවක් ඔවුන් හඳුනාගැනීමට යෙදෙන කේත අංකය ඇතුළත් කර කකුලේ සවි කරන්නේ ඕනෑම තැනකදී ඒ අංකයෙන් හඳුනාගන්නටය. ලොව පුරාම පරෙවියන්ට යොදන මුද්ද හදන්නේ චීනයේය.
මෙම පරෙවියන් අතරින් පියාඹන දුර අනුව කාණ්ඩ වෙන් කර තබන්නේය.
කෙටි දුර, දිගු දුර හා මධ්‍යස්ථ වශයෙන් ඔවුන් කාණ්ඩවලට වෙන් කරන්නේය. පෙළපත අනුවත් වේගවත් පරෙවියන් වෙන් කර ගනු ලබන්නේය. වේගවත් මෙන්ම සුළඟේ වේගය වැඩිවුවත් පියාඹා යා හැකි මෙන්ම, ඉර පෑයූ මොහොතේ වේගයෙන් යා හැකි වශයෙන්ද මොවුන්ව හඳුනාගන්නේය.
පුහුණු කරන පරෙවියාට තරගයට කලින් දින දහවල් කෑමෙන් පසුව තරගය දින උදෑසන ලැබෙන්නේ බීමට ජලය පමණකි. එයද තරගය පටන් ගන්නට පැයකට කලින් ලබාදෙයි. මේ සියල්ල පරෙවියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අධ්‍යයනය කර ලබාගන්නා ක්‍රියාමාර්ගයන්ය. කිලිනොච්චියට ගෙන ගොස් පසුදින උදෑසන ඉගිලෙන තෙක් පරෙවියන්ට ලැබුණේද එක් වතුර වේලක් පමණි.
සෑම අතින්ම සැලකිලිමත් වෙමින් දරුවන් මෙන් රැකගන්නා මේ කියන පරෙවියන් සැතපුම් දහස් ගණනක් දුරින් අතැර දැම්මත් තම හාම්පුතා සොයා එන්නේත් කෙළෙහිගුණ දන්නා සතුන් මෙන්ය.  දෙහිවලින් වත්තලට විකුණා මහනුවරට රැගෙන ගිය එවන් පරවියකු මාස හයක් තිස්සේ කූඩුවක රඳවා තිබුණත් පිටතට ගත් විගස දෙහිවල තම උපන් තැන සොයා විත් තිබුණේද මේ නිසාය.
මෙවන් කැපකිරීම් මැද හැදී වැඩෙන පරෙවියන් පරෙවි ධාවන තරග සඳහා සූදානම් කරන්නේය. කොළඹ ධාවන පරෙවි සංගමය දැන් සූදානම් වන්නේ මීළඟ තරගය යාපනයේ පවත්වන්නටය. ඒ සඳහා පරෙවියන් සූදානම් කිරීමට හිමිකරුවන් දැනටම සූදානම් වෙමින් ඇත්තේය. වත්තල පදිංචි ලැනරෝල් මහතා දැනටමත් තම පරෙවියන් පේදුරුතුඩුවට යවා වත්තලට ගුවනින් ගෙන්වා ගත්තේය.
‘‘අපේ කොළඹ ධාවන පරෙවි සංගමයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම කෙනකුම නියෝජනය කරනවා. ඇත්තටම මේක ලංකාවට අලුත් ක්‍රියාවක්. ලංකාවේ මෙතෙක් සමාජගත වුණේ පරෙවියෙක් හදලා උඩ ගහලා උඩ බලාගෙන ඉන්න එක. නමුත් මේක විනෝදාංශයක් මෙන්ම ක්‍රීඩාවක්. මේ වන විට ලංකාවට රේසින් හෝමර්ස් ප්‍රභේද ගෙනවිත් තියෙනවා.’’
මේ ක්‍රීඩාව ජේරන් කෘෂ් නමැති මහතා අවුරුදු තිහක් තිස්සේ කරනවා. ලෙනි ලැනරෝල් මහත්තයා අවුරුදු විස්සක් තිස්සේ කරනවා. නීල් ඩයස් මහතා අවුරුදු තිහක් තිස්සේ ඇති කරනවා. මේ ක්‍රීඩාව ප්‍රචලිත කළේ ලැනරෝල් මහත්මයා තමයි. දැන් අපේ රටට ලෝකයේ හොඳම පෙළපත වන ඔස්ට්‍රේලියාවේ ජැනතන් සුපර්මෑන් වර්ගයත් ඉන්නවා. සුපර්මෑන් පෙළපත කියන්නේ අතිදක්ෂ පරෙවියන්.
අවුරුදු සියයකට කලින් මියගිය ජාන් ආදේන් ඇතිකළ ආදේන් පෙළපතත් එවැනි එකක්. මේ අයුරින් ලොව ජයගත් පෙළපත් ගණනක දක්ෂ ධවල පරෙවියන් අප රටේත් ඉන්නවා’’ යැයි කෝසල ප්‍රනාන්දු සඳහන් කරයි. දැන් මොවුන්ගේ ඊළඟ සූදානම යාපනයෙන් පසුව ඉන්දීය මුහුදු සීමාවට ගොස් පරෙවියන් මුදාහැර  බලන්නටය.
 

More News..