brand logo

කිලිනොච්චියේ නිධන් හැරීමට ගිය යුධ හමුදා නිළධාරීන් ඇතුළු 21 දෙනා බන්ධනාගාරගත කරයි

10 February 2020

කිලිනොච්චිය,ධර්මපුරම් ප්‍රදේශයේදී නිධන් හැරීමට ගොස් අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුධ හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් 21 දෙනා එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කිලිනොච්චිය මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා ඊයේ (09) නියෝග කෙරිණ. කිලිනොච්චිය,ධර්මපුරම් ප්‍රදේශයේදී නිධන් හැරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. කිලිනොච්චිය ආරක්ෂක අංශ පැවසුවේ යුධ හමුදා පළමුවන විජයබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ ලුතිනන් කර්නල් එස්.බි. දිසානායක මහතා හා තවත් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද, යුධ හමුදා අංක සහිත වාහනයක්ද අදාළ ස්ථානයේ තිබි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි. යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු සිංහල පුද්ගලයින් 15 දෙනෙකු හා දෙමළ පුද්ගලයින් තිදෙනෙකුද සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පැවසූවේ යුධ හමුදා අංක සහිත වාහනයක් ඇතුළු සුඛෝපභෝගී වාහන තුනක්,නවීන ස්කෑනර් යන්ත්‍රයක්,පුජා භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් නිධන් ගැනීම වෙනුවෙන් සුදානමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබු බවයි. වවුනියාව ප්‍රදේශයේ කදවුරක සිට යාපනය ප්‍රදේශයට ස්ථානමාරුවීමක් ලබාසිටි සැකකාර ලුතිනන් කර්නල්වරයා ජාවාරමට සම්බන්ධ පිරිස වෙත ආරක්ෂාව සපයාදී තිබු බවට අනාවරණය කොටගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සිංහල ජාතිකයින් අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද කිලිනොච්ච්ය ධර්මපුරම් පොලිසිය පැවසූහ. සැකකරුවන් නිධන් හෝ එල් ටි ටි වළදැමු බවට පවසන රත්රන් ගොඩ ගැනීම වෙනුවෙන් පැමිණ ඇතැයි ආරක්ෂක අංශ පවසති. අත්අඩංගුවට ගත් කණ්ඩායම වයස අවුරුදු 20 ත් 60 ත් අතර පසුවන පිරිසක් වන අතර, සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පරීක්ෂණ මෙහෙවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..