brand logo

කිලිනොච්චියේ ආපදාවට පත් ජනතාවට ජනපති නියෝගයෙන් අවශ්‍ය පහසුකම් තවදුරටත්

26 December 2018

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තමා ඇතුළු සියලූ ප‍්‍රාදේශීය ලේකම්වරුන් ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීමට සූදානම් ව සිටින බවත් දැනටමත් 2000 ක් පමණ වන ජනතාවට සුබසාධන කඳවුරුවල පහසුකම් සපයා ඇති බවත් කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමෛනායහම් මහතා ප‍්‍රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ගංවතුර තත්ත්වය ක‍්‍රමයෙන් අඩු වී ඇතත් අද (26) උදෑසන සිට වසින තද වැසි හේතුවෙන් ජනතාව නැවතත් සුබසාධන මධ්‍යස්ථාන කරා පැමිණෙමින් සිටින බව ද ඒ මහතා කියා සිටී. මේ වන විට කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ පවුල් 18,000 ක් පමණ පීඩාවට පත් ව ඇති අතර, ඒ සියලූ දෙනට පිසූ ආහාර හා අනෙත් අවශ්‍ය ආහාර, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපැයෙමින් තිබේ. කිසිදු අඩුපාඩුවක් සිදු නොවන ලෙස අවශ්‍ය පහසුකම් ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නියෝග කොට ඇති අතර, ඒ අනුව දිස්ත‍්‍රික්කයේ සුබසාධන කඳවුරු 17 ක රඳවා සිටින ආපදාවට පත් ජනතාව පිළිබඳ ව නිරන්තර අවධානයකින් පසුවීමට ද කටයුතු සිදුවන බව කිලිනොච්චි දිස්ත‍්‍රික් ලේකම්වරයා පවසයි. හානියට පත් නිවාස නැවත අලූත්වැඩියා කර ගැනීමට ආධාර දීමේ මූලික පියවරක් ලෙස එක් පවුලකට රු. 10,000 ක මුදලක් ලබා දෙන අතර, සිදු වූ අලාභය තක්සේරු කිරීමෙන් පසු රු. 250,000 ක් දක්වා උපරිමයකට සීමා කොට මුදල් ලබාදීමට තීරණය කොට ඇත. ජල ගැල්මෙන් වියවුලට පත් නිවාස, වෙළෙඳසල්, ජල ළිං සහ වැසිකිළි යළි පවිත‍්‍ර කිරීමේ වැඩසටහන් රාජ්‍ය ආයතන ඒකාබද්ධ කොට ක‍්‍රියාවට නැංවීමට ගරු ජනාධිපතිතුමා ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු සිදු වේ. උවදුරට පත් දිස්ත‍්‍රික්කයන්හි මු`ථමනින්ම ජලයෙන් යට වී අස්වැද්¥ කුඹුරු අක්කර 8000 කට පමණ වන්දි ලබාදීමට තීරණය වී ඇති අතර, එහි දී අක්කරයකට රු. 40,000 ක් බැගින් වන්දි ලබා දෙනු ඇත. නිවාස හානි සිදු නො වූ පුද්ගලයන් නැවත සිය නිවාසවල පදිංචි කරවීමේ දී ආහාර සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සැපැයෙනු ඇත. යුද හමුදාව ද පිසූ ආහාර සපයමින් පීඩාවට පත් වූවන් තර්ජිත ස්ථානවලින් ඉවත් කිරීමේ හා නැවත ස්ථානගත කිරීමේ කටයුතුවල යෙදී සිටින අතර, අනතුරින් හානියට පත් දිස්ත‍්‍රික්කවල ජනතාවට වෛද්‍යාධාර සැපයීමේ කටයුතුවල ද නිරත වේ. යුද හමුදා මාධ්‍ය අංශය පවසන්නේ කොට්ඨාස 57 ක ගංවතුර ආපදා සහන කටයුතු සඳහා 300 - 400 ත් අතර භට පිරිසක් යොදවා ඇති බවයි. ඔවුහු මේ වන විට එකී සහන සේවාවන්හි කඩිනමින් යෙදී සිටිති. මේ අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාව ද සහන සැලැසීමේ මෙහෙයුම් කණ්ඩායම් 06 ක් ආපදාවට පත් ප‍්‍රදේශවල සේවා කටයුතුවලට යොදවා ඇත. යුද හමුදා සෙබළ පිරිස් දැනටමත් මුලතිව් ප‍්‍රදේශයේ අතරමං වූ දහසක් පමණ ජනයා ගලවා ගැනීමට කටයුතු කොට ඇති අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හඳුනාගැනීම් ම`ගින් උවදුරු සහිත ප‍්‍රදේශවල සේවාවෙහි යෙදෙන පාබල හමුදාවන්හි කටයුතුවලට සහය දෙමින් සිටින බව වාර්තා වේ.
 

More News..