brand logo

මම පැරදුණේ නැහැ... ගමනක් ආරම්භ කළා

03 October 2020

නුවන්දිකා සේනාරත්නට කිරුළ හිමි නොවුණත් ඇය කුමාරිකාවක් බව නම් කිව යුතුමයි. ඩ්‍රීම්ස්ටාර් ජයග්‍රහණය එක දශමයකින් ඈත් වුණත් අද ඇය ජනතාවගේ ගායිකාවක් වී හමාරයි. ‘මට ඔයාව මගේ දුව කරගන්න හිතෙනවා’ කීර්ති පැස්කුවෙල් ඇය ගැන කීවේ එලෙසයි. ඒ තරමටම ඇය ආදරණීය වෙලා. ඉතින් නාරම්මල නංගිගෙන් අපි ඇහුවා මෙච්චර ආදරයක් ලැබෙන්නේ කොහොමද කියලා... කීර්ති පැස්කුවෙල් ඔබව දුව කරගන්න කැමතියි... ඒක මට ලබාදුන්න උතුම් ගෞරවයක් ලෙසයි මම දකින්නේ. දුවෙක්ට ඒ තරම් ගෞරවයක් මේ ලෝකේ තවත් නැහැ. ඇයි හැමෝම ඔයාට මෙච්චර ආදරේ? ඒක පිනක්... සාමාන්‍යයෙන් කෙනෙක්ට එහෙම ලැබෙන්නේ කලාතුරකින්. මම හරිම වාසනාවන්තයි. කිරුළ ගිලිහුණා නේද? නැහැ, ජනතාවගේ ආදරය කවදාවත් නැතිවෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි. ඔවුන් මාව විශ්වාස කරපු තරමට මම ඔවුන්ව විශ්වාස කරලා ඉදිරියේදී වැඩ කරනවා. පැරදුණාම දුක නැද්ද? මම පැරදුණේ නැහැ. ලංකාවේ පුංචි ගමක උන්න මාව රටම දැනගත්තා. ඉතින් කොහොමද පැරදෙන්නේ? කාටවත් නොදැනෙන්න ආරම්භ කරපු සංගීත චාරිකාවට ඩ්‍රීම්ස්ටාර් වේදිකාව ලොකු හයියක් වුණා. දැන් තියෙන්නේ මගේ වාරේ. ඔබේ සංගීත දිවිය ආරම්භ වෙන්නේ? හැම වෙලේම මම ගීතයක් මුමුණපු කෙනෙක්. වෙලේ දුවනකොට, ඇළේ නානකොට පුංචි කාලේ ඉඳලාම සින්දු කිව්වා. කොහොම වුණත් නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් තමා මම ගායනයට යොමුවුණේ. ඇයි මෙච්චරට සංගීතයට ලැදි? ඒක මම පතාගෙන ආපු දෙයක් වෙන්න ඇති. ගනේගොඩ ශ්‍රී සුදර්ශනාරාම දහම් පාසලේ ගායනා තරගවලට යනවා. ගමේ අවුරුදු උත්සවයක් තිබුණත් ජන ගායනා තරගයට ඉදිරිපත් වෙනවා. හැම එකකින්ම දිනුවා. අන්තිමට ගමේ ළමයි ජන ගායනා තරගවලට මම එනවා නම් එයාලා එන්නේ නැහැ. ඔබ ඩ්‍රීම්ස්ටාර් රසිකාවියක්ද? මම මීට කලින් තිබුණ ඩ්‍රීම්ස්ටාර් තරග බලලා තියෙනවා. ඇයි ඉල්ලුම් කරන්න මේ තරම් ප්‍රමාද වුණේ? මම හිතන්නේ මේක තමා මගේ වෙලාව. හොඳම අවස්ථාවේදී ඉදිරිපත් වෙන්න ඇති. අවසාන මහා තරගය දක්වාම ආවනේ. මුල්ම අවස්ථාව අවසාන මහා තරගයකින් නිම කිරීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. අනෙකුත් රියැලිටි තියෙනකොට ඇයි ඔබ ඩ්‍රීම්ස්ටාර් තෝරගත්තේ? ඩ්‍රීම්ස්ටාර් ගිය ළමයි එක්ක කතාබහ කරනකොට තේරුණා එහි ඇති වැදගත්කම. ගැහැනු ළමයෙක්ට හොඳ ආරක්ෂාවක් ඩ්‍රීම්ස්ටාර් තුළ තිබෙනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙනුත් කිව්වා වැදගත් ගැහැනු ළමයෙක්ට යන්න හොඳම තරගය ඩ්‍රීම්ස්ටාර් කියලා. ඒකයි මම දෙරණ ආයතනයේ ඩ්‍රීම්ස්ටාර් තෝරාගත්තේ. ඔබේ තේරීම නිවැරදිද? අනිවාර්යයෙන්ම. ඩ්‍රීම්ස්ටාර් තුළ දෙමාපියන් ලබාදෙන ආරක්ෂාව ලබාදෙනවා. ඒක මමත් සීයට සීයක් සහතික කරනවා. ඒ වගේම පැරදුණ කෙනෙක්ව තනි කරන්නෙත් නැහැ. දක්ෂතා තියෙන හැමෝටම ලොකු අගයක් ලබාදෙනවා. ඔබ මුලින්ම ගායනා කළ ගීතය මතකද? මම මුලින්ම කිව්වේ ‘දෙවිඳුනි දෙවොලට ආවේ’ කියන ගීතය. විනිශ්චය මණ්ඩලයේ උන්නේ චන්ද්‍රිකා සිරිවර්ධන සහ කුෂානි සඳරේඛා යන මහත්මියන්. තප්පර හතරක විතර කාලයක එක පේළියයි කිව්වේ. ඊළඟ වටයට තේරුණා. හොඳ ආරම්භයකින් තමා මේ ගමන පටන් ගත්තේ. ජයග්‍රහණය ගැන ඔබ විශ්වාස කළාද? ඔව්. හැම දවසකම හැම ගීතයක්ම ගායනා කළේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියාගෙන. ටිකෙන් ටික ඉස්සරහට එනකොට තේරුණා මම අවතීර්ණ වෙලා ඉන්නේ ජයග්‍රාහී මාවතකට කියලා. දෙවැනි ස්ථානය කියන්නේ මට ලොකු ජයග්‍රහණයක්. ඔබ කාගේ ගීත ගයන්නද වැඩියෙන්ම කැමති? සුජාතා අත්තනායක සහ සශිකා නිසංසලා මහත්මියගේ ගීතවලට හුඟක් කැමතියි. කොහේදිවත් අවදානමක් දැනුණේ නැද්ද? අවසාන පස්දෙනා අතරට ආපු දවසේ පුංචි බයක් දැනුණා. මොකද මම ගායනා කළ ගීතයේ අඩුපාඩු තිබුණා. හැබැයි තුන්වැනියා ලෙස ඊළඟ වටයට තේරුණා. අවදානම් කලාපයට ගියේම නැද්ද? දෙපාරක් ගියා. ඒ තැන්වලදි තමා වැරදි හදාගත්තේ. ඔබ තුළ ඇති ගායන හැකියාව මෙතරම් ප්‍රබලයි කියලා ඔබට දැනුණේ කවදාද? 2012 වර්ෂයේ පාසල් සමස්ත ලංකා තරගයට යන්න හින්දි ගීතයක් ගායනා කළා. එදා ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට මා ගැන ලොකු විශ්වාසයක් දැනුණා. එදා මම ස්ථිර කරගත්තා ඉපදිලා ඉන්නේ ගීත ගායනයට කියලා. දිගටම ගමේ ඉන්නද අදහස? ගම දාලා එන්න කොහෙත්ම බැහැ. නමුත් කොළඹ ආවොත් දෙපැත්තම සමබර කරගන්න පුළුවන්. මොකද ඔච්චර ගම දාලා එන්න බැරි කාරණාව? ගමට මම හරි ආදරෙයි. තාමත් වෙල් මැද්දෙන් දුවන්න ආසයි. වහින වෙලාවට ගමේ සපත්තු පාලමේ වතුර පිරිලා උතුරනවා. ඒ දිහා බලාගෙන ඉන්න මම හරිම කැමතියි. ගම කියන්නේ මගේ ජීවිතයේ කොටසක්. ලස්සන කෙල්ලට ආදරය කරන්න කෙනෙක් නැද්ද? සත්තයි. ඒ ගැන හිතුවෙම නැහැ. ගායිකාවක් වීමේ සිහිනයෙන් හදවත පිරිලා තිබ්බේ. වෙන කිසිම දේකට ඉඩ තිබුණේ නැහැ. මෙතැනින් පස්සේ මොකද වෙන්නේ? දැන් තමයි ගමන පටන් ගත්තේ. කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
 

More News..