brand logo

කිරලාගල නටඹුන් ස්ථූපය මත නැග ඡායාරූප ගත් සිසුන් අද අධිකරණය හමුවට

24 January 2019

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් 7දෙනා අද (24) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම තරුණයින් පිරිස ඊයේ (23) පස්වරුවේ අම්පාර සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී හොරොව්පොතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ තරුණයින් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් 7 දෙනෙක් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් කල්මුණේ, ගම්පොල ,කුලියාපිටිය, හොරොව්පොතාන, පුත්තලම, එරාවුර්, ඔට්ටමාවඩිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් හොරොව්පොතාන කිරලාගල පිහිටි ඉපැරැණි නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී චෛත්‍යය මතට නැග තරුණයන් දෙදෙනකු විසින් ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා කිරලාගල කලාප භාර පුරාවිද්‍යා නිලධාරි සුමිත් බංඩාර රත්නායක මහතා විසින් 22වැනිදා සවස හොරොව්පොතාන පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා එම පැමිණිල්ලට අදාළ මූලික පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මෙම සිද්ධියට සැකකරුවන් 7 දෙනෙකු සම්බන්ධ බවත් ඔවුන් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන බවයි. එයින් එක් සැකකරුවෙකු හොරොව්පොතාන ප්‍රදේශයේ වන අතර අනෙක් සැකකරුවන් හත් දෙනා දිවයින විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබුණා. ඒ අනුව ලබාගත් තොරතුරු අනුව හොරොව්පොතාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධන මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා ඊයේ (23) අම්පාර සහ අක්කරෙයිපත්තුව ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී සිදුකල දීර්ඝ සෝදිසියකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පරීක්ෂණ පවත්වන පොලීසිය වැඩිදුරටත් කියා සිටියා. 2018.01.05 වන දින හෝ ඊට ආසන්න දිනකදී හොරොව්පතාන ප්‍රදේශයේ සිටින මිතුරකුගේ නිවසට පැමිණි තමන් කිරලාගල පුරාවිද්‍යා භූමියේ ද සංචාරය කළ බවත් එහිදී චෛත්‍ය මතට නැග ඡායාරූප ගත් බවත් සැකකරුවන් පොලිසියට පවසා තිබෙනවා. එම අවස්ථාවේදී එය එතරම් බැරෑරුම් කාර්යයක් බව නොතේරුණු බවත් එසේ දැනුණේ නම් මෙලෙස ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා නොහරින බවත් සැකකරුවන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
 

More News..