brand logo

කිම් ජොං උං හැංගිමුත්තං

20 September 2020

උතුරු කොරියානු ජනාධිපතිවරයා පුවත් මවන්නකු බවට පත්ව සිටී. ඒ ඔහු හිටිගමන් අසනීප වෙමින්, නැවත ක්‍රියාකාරී වෙමින් ගෙන යන ද්විත්ව චරිත නිරූපණය හේතුවෙනි. මීට මාසයකට පමණ පෙර ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කළේ ඔහු සිහි විසඥ තත්ත්වයෙන් යුතුව රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. ඇතැම් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායකයා මියගොස් ඇති බවය. නමුත් ටික දිනකට පසු කිම් ජොන් උන් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක පෙනී සිටියේ සියලු දෙනා පුදුමයට පත් කරමිනි. කොමා තත්ත්වයේ පසුවන පුද්ගලයකුට එතරම් ඉක්මනින් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයකට පත් විය හැකිද වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම් අනුව මොළයට කිසිදු හානියක් සිදුවී නොමැතිනම් පමණක් එවැනි රෝගියකුට සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමට ජීවිතය ගොඩ දා ගත හැකිය. එසේ වුවත් බොහෝ දෙනකුට කිසියම් හෝ දුබලතාවකින් ඉතිරි ජීවිත කාලය ගත කිරීමට සිදු වේ. එවැනි අයට ශාරීරික හා මානසික ප්‍රතිකාර අවශ්‍යය. කොමා තත්ත්වයෙන් මිඳීම සඳහා දින කිහිපයක සිට මාසයකට අධික කාලයක් වුව ගත කිරීමට සිදුවේ. එසේම ප්‍රතිචාර දක්වන ආකාරය අනුව කොමා තත්ත්වය අවස්ථාවන් හතරකට බෙදා තිබේ. සමහර විට රෝගියා කිසිම ආකාරයේ බාහිර සංවේදනයකට ප්‍රතිචාර දක්වන්නේ නැත. දෙවන අවස්ථාවේදී ඉතාම සුළු ප්‍රතිචාරයක් දක්වයි. තුන්වන මට්ටමේ සිටින ​රෝගියා දක්වන ප්‍රතිචාර ව්‍යාකූලය. හතරවන අවස්ථාවේදී යම් යහපත් ආකාරයේ ප්‍රතිචාර දැක්වීමට රෝගියාට හැකියාව තිබේ. සුව කිරීම කෙරෙහි වැඩි බලාපොරොත්තු තැබිය හැක්කේ මෙම සිව්වන මට්ටමේ සිටින රෝගීන් සම්බන්ධයෙනි. කොමා තත්ත්වයට පත් වන හේතු ලෙස අධි රුධිර පීඩනය, අධික රුධිර වහනය, ඔක්සිජන් නොලැබී යාම හා විෂ වීම් හේතු විය හැක. මේ කරුණු සලකා බලන විට උතුරු කොරියානු නායකයා මින් කුමන හේතුව නිසා කොමා තත්ත්වයට පත් වූයේ දැයි තේරුම් ගැනීම අපහසුය. සැක කිරීමට හැකි එකම කාරණය නම් අධි රුධිර පීඩනයයි. ඔහු කිරීටක ධමනි සම්බන්ධ බයිපාස් සැත්කමකටද මෑතකදී මුහුණ දුන් බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබීමෙන් එය තහවුරු වේ. එහෙත් මේ සියලුම කාරණාවන් පසෙකට කළ විට කිම් -ජොන් උන්ට පමණක් එපමණ ඉක්මනින් කොමා තත්ත්වයෙන් මිඳෙන්නට ලැබී ඇති වාසනාව කුමක්ද? මෙම ගැටලුව තවත් ව්‍යාකූල කරමින් පසුගිය සති දෙක තුනේදී එරටට බලපාන ලද කුණාටු හා චණ්ඩ මාරුත තත්ත්වයේදී නිලධාරීන්ට උපදෙස් දීම සඳහාද ඔහු උත්සුක වන ආකාරයද දක්නට ලැබුණි. බොහෝ දෙනාගේ අදහස නම් මේ වන විට ඔහු සිය පරිපාලන බලතලවලින් වැඩි කොටසක් සිය සොහොයුරිය වන කිම්-යෝ-ජොං වෙත පවරා ඇති බවය. පසුගිය සෙනසුරාදා එරට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘KCNA’ නිකුත් කළ ප්‍රවෘත්තියක දැක්වෙන්නේ උතුරු කොරියානු නායකයා ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශයක නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටින අන්දමයි. අගෝස්තු මාසය අගදී ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් උතුරු කොරියාවේ ප්‍රදේශ රැසක් ගංවතුරට ගොදුරු විය. ‘‘මෑතකදී ඇති වූ මෝසම් කුණාටු හා වර්ෂාව හේතුවෙන් අපගේ ආර්ථිකයට එල්ල කළ බලපෑම අති විශාලයි.’’ ඔහු සිය නිරීක්ෂණ කටයුතු අතරතුරදී ප්‍රකාශ කළේය. ඔහු නිරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේ උතුරු දිග හ්වැංග්හේ ප්‍රාන්තයට අයත් තායිඩොංගරි ගම්මානයයි. එහි කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ඔහු සතුට පළ කර ඇත. අස්වැන්න සම්බන්ධයෙන් වන හානිය අවම කර ගැනීම සඳහා ගත හැකි උපරිම ශක්තිය යෙදවිය යුතුයි.’’ හ්වැංග්හේ යනු උතුරු කොරියාවේ ප්‍රධානතම සහල් නිෂ්පාදනය කෙරෙන ප්‍රදේශයයි. පසුගිය සති දෙක තුන තුළදී චණ්ඩ කුණාටු තුනකින්ම බැට කෑමට එම ප්‍ර‍දේශයට සිදු විය. ඉන් අවසානයට හමා ගිය හයිසෙන් චණ්ඩ කුණාටුව උතුරු කොරියාවේ නැගෙනහිර ප්‍රදේශයට විශාල හානියක් කළේය. මෑතකදී ඇමෙරිකානු ප්‍රවීණ වාර්තාකරුවකු වන බොබ් වුඩ්වර්ඩ් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය. උතුරු කොරියානු නායකයා පිළිබඳව සටහන් කරන්නටද ඔහු එහිදී අමතක කර නැත. එහි සඳහන් වන ආකාරයට ඔහු තම මාමා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ හිස අතින් එල්ලාගෙන ප්‍රදර්ශනය කර තිබේ. පසුගිය ජූලි මාසයේ ඔහු සිය ආර්ථික අමාත්‍යාංශයේ සේවකයන් පස් දෙනකු මරණ දඬුවමට ලක් කළේය. ඒ උතුරු කොරියානු රජයේ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කිරීම හේතුවෙනි. දකුණු කොරියාවේ ‘DAILY NK’ පුවත්පතේ සිකුරාදා මුද්‍රණයෙහි මේ පිළිබඳව විස්තර කර තිබිණි. මෙම සේවකයන් පස් දෙනා රාත්‍රී ආහාරය ගන්නා අතරේදී අන් ගේ රජය විවේචනය කර ඇති බව සඳහන්ය. ඔවුන් පවසා ඇත්තේ විදේශයන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිය රටට පනවා ඇති සම්බාධක ඉවත්කර ගැනීමට උතුරු කොරියාව කටයුතු කළ යුතු බවයි. මෙම සාකච්ඡාව සැලවීමෙන් අනතුරුව ජූලි 30 වනදා මෙම සේවකයන් පස් දෙනාට වෙඩි තබා මරා දමනු ලැබීය. ඔවුන්ගේ අදහස් පිළිබඳව ඉහළ නිලධාරීන්ට පවසා ඇත්තේ ඒ අවස්ථාවේ ඔවුන් අතර සිටි ඔවුන්ගේම සගයකු විසින් බව සඳහන් වේ. සේවකයන් මරා දැමීමෙන් පසු ඔවුන්ගේ පවුල්වල ඥාතීන් යොඩොක් හි පිහිටි අංක 15 දරන කඳවුර වෙත පිටුවහල් කර තිබේ. මෙම කඳවුර වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ දේශපාලන වශයෙන් පළිගන්නා පුද්ගලයන් රඳවන ස්ථානයක් වශයෙනි. කිම්-ජොන්-උන් ප්‍රකාශ කර ඇති ආකාරයට ඔවුන් ම රටේ ආරක්ෂාවට ඉදිරියේදී තර්ජනයක් වනු ඇත. පසුගියදා උතුරු කොරියාව මුහුණ දුන් ගංවතුර තර්ජනයේදී එහි වෙරළබඩ කලාපයේ නිවාස 1000ක් පමණ විනාශ වී ජනතාව විශාල සංඛ්‍යාවක් පීඩාවට පත් වූයේය. එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ රාජ්‍ය නායකයා සමග 12000ක පමණ සිය පක්ෂයේ නියෝජිතයන් අමතමින් ඔහු පැවසුවේ රට නැවත ගොඩ නැගීමට තමාට සහාය වන ලෙසය. මෙම ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශයේ පාලක පක්ෂ ප්‍රධානියාද අතුරුදන් වී තිබේ. KRT නම් රාජ්‍ය අනුබද්ධ රූපවාහිනී නාළිකාව නායකයා එම ප්‍රදේශයේ ආපදා තත්ත්වය නිරීක්ෂණය කරන ආකාරය විකාශනය කරනු ලැබීය. දැනට උතුරු කොරියාව පාලනය කරන්නේ කම්කරු පක්ෂය විසිනි. එහි 75 වන සංවත්සරය යෙදී ඇත්තේ ඔක්තෝබර් 10 වැනිදාටය. මේ දිනවල උතුරු කොරියානු රජය ඒ පිළිබඳ පෙරහුරුවල යෙදී සිටින ආකාරය සුලභ සිදුවීමකි. චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ අති විශාල ආරක්ෂක රථ ප්‍රමාණයක් හා ආරක්ෂක සේනාංක සිය පෙරහුරුවල යෙදී සිටින ආකාරයයි. මේ කරුණු සියල්ලෙන්ම පැහැදිලි වන්නේ උතුරු කොරියානු රාජ්‍ය නායකයා තවමත් ක්‍රියාකාරීව සිටින බවය. එසේ වුවද හිටි ගමන් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටි යැයි ප්‍රවෘත්තියක් පිට වුවහොත් එයද පුදුමයක් නොවේ. තේරුම් ගැනීමට අපහසු කාරණය ඔහු එසේ කරන්නේ ඇයිද යන්නයි. සමහර විට කිම්-ජොන්-උන් හැංගි මුත්තං කරනවා විය හැකිය. එසේ නම් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පරිදි උතුරු කොරියානු නායකයා පෙනුමෙන් පමණක් නොව සිතින්ද ‘කුඩා ළමයෙකි.’ වසන්ත විජේරත්න
 

More News..