brand logo

කිම් ජොං උං ජීවතුන් අතර

28 April 2020

උතුරු කොරියානු නායක කිම්ජොන් උන් ජීවතුන් අතර සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් ඒ.එෆ්.පී. (A.F.P) පුවත් සේවය වාර්තා කර තිබිණි. දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන්ගේ උපදේශක මුන් චුන්-ඉන් උපුටා දක්වමින් ඒ.එෆ්.පී. මේ බව වාර්තා කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක උපදේශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ‘මෙතෙක් කිසිදු සැක සහිත චලනයක් අනාවරණය වී නොමැත. කිම් ජොන් උන් ජීවතුන් අතර හොඳින් සිටී’ යනුවෙනි. පසුගිය සති අන්තය වනවිට උතුරු කොරියානු නායකයා පිළිබඳ විවිධ කටකතා ලොව පුරා පැතිර ගිය අතර ඒවා හොංකොං, ඇමෙරිකානු මෙන්ම චීන සහ ජපාන පුවත් සේවා ඔස්සේද සීග්‍ර ලෙස සංසරණය විය. ඒවායින් කියැවුණේ කිම්ජොන් උන් මියගොස් ඇති බව හෝ හෘදයාබාධයක් හේතුවෙන් දැඩි සේ රෝගාගුරවී සිටින බවයි. කොවිඩ් -19 වෛරසය ආසාදිත වූවකු ළඟින් ඇසුරු කිරීම නිසා ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව සිටි බවද ඇතැම් පුවත් සේවා වාර්තා කර තිබිණි. උතුරු කොරියානු නායකයා පිළිබඳව මෙලෙස කටකතා පැතිර යෑමට ප්‍රධානම හේතුව වූයේ එරට දින දර්ශනයේ වැදගත්ම දිනය ලෙස සැලකෙන උතුරු කොරියාවේ නිර්මාතෘ, කිම් ජොන් උන්ගේ සීයා වන කිම් ඉල් සුන්ගේ ජන්ම දින සැමරුමට (අප්‍රේල් 15) ඔහු සහභාගි නොවීමය. එසේම අප්‍රේල් 11 වැනිදා පැවැති කම්කරු පක්ෂ දේශපාලන මණ්ඩලයේ මුලසුන දැරීමෙන් අනතුරුව කිම් කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකට සහභාගිවීමෙන් වැළකී ඇත. වයස අවුරුදු 36ක් වන කිම් ජොන් උන් අධික දුම්පානය සහ තරබාරුකම හේතුවෙන් හදවත දුර්වලවීමෙන් පීඩා විඳින බවත් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා චීන වෛද්‍ය කණ්ඩායම් වරින්වර යොමු කරන බවත් වොෂිංටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කර තිබිණි.   නයන තරංග ගමගේ •අශිකා ජයවීර
 

More News..