brand logo

කිම් කාර්ඩෂියනුත් සමාජ ජාලා වර්ජනය කරයි

18 September 2020

වෛරී හැඟීම් හා අසත්‍ය තොරතුරු ප්‍රචාරණයට විරෝධය පළ කිරීම පිණිස තමන් සමාජජාලා ගිණුම්වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි කිම් කාර්ඩෂියන් නිවේදනය කර ඇත. ‘‘සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම අර්බුදයක් බවට පත්වෙලා’’ යැයි කිම් එහි සඳහන් කර තිබේ. සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් සිදුකරගෙන යන STOP HATE OR PROFIT ව්‍යාපාරයේ එක් අංගයක් ලෙස මෙම සමාජ ජාල වර්ජනය කිරීම ක්‍රියාත්මක වේ. ඒ අනුව බදාදා පැය 24 පුරාම මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් කටයුතු යොදා තිබිණි. ‘‘වෛරය, ද්වේශය හා අසත්‍ය ප්‍රචාර සිදුකරන මාධ්‍යයක් ලෙස සමාජ ජාලා යොදා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් නිහඬව සිටීමට හැකියාවක් අපට නැහැ. ඇමෙරිකාව පුරාම විවිධ කණ්ඩායම් මෙම ක්‍රියාවේ යෙදී සිටිනවා. වැරදි තොරතුරු ප්‍රචාරය වීම මගින් අපගේ මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට සිදුකරන්නේ විශාල හානියක්’’ යනුවෙන්ද ඇය පවසන්නීය. කාර්ඩෂියන් හැරුණු විට ලියනාර්ඩෝ ඩි කැප්රියෝ, ෂාෂා බාරොන් කොහෙන්, ජෙනිෆර් ලෝරන්ස් මෙන්ම කේට් පෙරීද මෙම සමාජජාල වර්ජනයට එක්වී සිටිති. ‘‘කවදා හෝ මෙම නරක ආදර්ශය වෙනස්වනතුරු අලසව බලා සිටීමට අපට බැහැ’’ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් තබමින් පෙරී පවසා ඇත. මිලියන ගණනක සමාජජාල මිතුරන් පිරිසක් සිටින ප්‍රකට නළු ඇස්ටන් කූෂර්ද වර්ජනයට එක්වූ අයෙකි. ‘‘සමාජ ජාල නම් අවිය වෛරය, ද්වේශය වැපිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කිරීම විශාල හානියක්’’ ඔහු කියයි. STOP HATE OR PROFIT ව්‍යාපාරයේ සංවිධායකයන් ජුනි මාසයේදී ප්‍රකාශ කළේ ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජජාල මාධ්‍ය මෙම වැරදි ක්‍රියා නවතාලීමට කිසිදු උත්සාහයක් නොදරන බවයි. වසන්ත විජේරත්න
 

More News..