brand logo

කිනිස්සට ජීවිතය නොදුන් රෝදපුටුවේ කෝටිපතියා

20 January 2019

දෛවය පුදුමාකාර දෙයක්, වෙනස් කරන්න බැරි උරුමයක්. ඒත් ඒ උරුමය වෙනස් කරන්න කියලා සුමිත් වීරකෝන් හිතන්න පටන් ගන්නෙ වයස අවුරුදු 13 ඉඳලයි. සුමිත් රඹෑව ඉස්කෝලේ හිටපු කනිෂ්ඨ ළමයි අතරේ ක්‍රියාශීලීම දක්ෂයෙක්. අන්තර් විද්‍යාල මලල ක්‍රීඩා තරගවලදී සම්මාන රැසක්ම සුමිත් දිනනවා. රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් පාසලෙත් පුංචි සුමිත් දිස්ත්‍රික් තරග පවා දිනපු දක්ෂයෙක් වෙනවා. පහේ ශිෂ්‍යත්වය සමත් වෙන ඔහු අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලයෙ හය වසරට ගියපු අවුරුද්දෙත් පන්තියේ පළවැනියා වෙනවා. ඒ සුමිත්ට පාසල් යන්න විභාගෙට ලියන්න ලැබෙන අවසන් අවස්ථාව. අනුරාධපුර රඹෑවේ A9 මාර්ගයට ළංව තිබ්බ පුංචි ගෙදරක ජීවත් වුණ සුමනාවතී අලස් අම්මගෙ හතර වන දරුවා සුමිත්. සුමිත් ඇතුළු සහෝදර සහෝදරියන් ජීවත් කරවන්න සුමිත්ගෙ අම්මා කඩයප්පන් හදලා ළඟම තිබ්බ කඩවලට දාන්නේ සෝමරත්න අප්පච්චිගෙ කුඩා වීමෝලේ අාදායම ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් නැති නිසයි. දවසෙන් දවස කඩයප්පන් හැදූ අම්මා සේන කඩේ පුංචියට සිල්ලර බඩු කඩය දැම්මේ ඔය අතරේ. පවුල බොහොම සතුටින් දිරියෙන් ජීවත් වුණ පවුලක්. ජීවිතවලට විපත් කරදර එන්නෙ පෙර දැනුම්දීමක් නැතුව. 1981 අගෝස්තු 14 වැනිදා සුමිත්ටත් ඒ පවුලෙ අයටත් එහෙම විපත් කැන්දූ දවසක්. සුමිත්ගෙ අප්පච්චිගෙ වීමෝලේ වැඩකළ අයෙක් අප්පච්චි සමග ගැටුමක ඉන්නවා දකින අවුරුදු 13ක් වෙච්ච කුඩා සුමිත් ඒ ගැටුමට මැදි වෙනවා. අප්පච්චිගේ යාළුවා අප්පච්චිට කිනිස්සකින් පහර දෙන මොහොතේ සුමිත් ඒ මැද්දට පනිනවා. ඒ කිනිසි පාර සුමිත්ගෙ උරහිසෙන් පහල සුෂුම්නාව කපාගෙන ඇතුළට බහිනවා. සුෂුම්නාව කැපීමෙන් බිම ඇද වැටුණු සුමිත්ට ජීවිතයේ ආයේ කවදාවත් දෙපාමතට බරදී හිටගන්න වරම අහිමි වෙනවා. සුෂුම්නාවට සිදුවූ බරපතළ හානි නිසා සුමිත්ගෙ ඉණෙන් පහල සම්පූර්ණයෙන් අක්‍රිය වෙනවා. අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සතියක් ප්‍රතිකාර මතින් ජීවත්වීමේ වරම් හිමිවෙන සුමිත් ජීවිතකාලය පුරාම තමන්ට ආබාධිතයකු ලෙස ජීවත් වෙන්න සිදුවෙන බව දැන ගන්නවා. කුඩා සුමිත් හිතෙන් නොවැටී ඉන්න තරම් ශක්තියක් ගොඩනගා ගන්නේ මේ අතරේ. රාගම පුනරුත්ථාපන රෝහලේ කාරුණික හා විධිමත් පුහුණුවට ඔහුව යොමු කරනවා. තමන්ගෙ දේවල් තමන්ටම කරගන්න හැකි විදිහට ඔහු සියල්ල හුරු වෙනවා. පුනරුත්ථාපන රෝහලේදී තමන්ටත් වඩා විපත්වලට මුහුණ දී සිටින අය දැක්කම ඒ අයට කෑම කවන පොවන වැඩ පවා රෝද තුනේ බයිසිකලේට වී සුමිත් කළේ කැමැත්තෙන්. මාස 7ක පුනරුත්ථාපන කාල සීමාවකින් පසු සුමිත් ආයෙත් ගෙදර එනවා. පාසල් යන්න හිතුණත් තමන්ගේ යාළුවො දක්වන අනුකම්පාව කනගාටුවීම් විඳගැනීම දුෂ්කර වූ ඔහු පාසල් ගමන සම්පූර්ණයෙන් නවතා දමනවා. ඉන්පස්සේ රෝද තුනේ බයිසිකලය ඉවත්කර රෝද දෙකේ පුටුවකට හුරුවෙනවා. අප්පච්චි ගෙනත් දුන්න පිලිප්ස් රේඩියෝව සුමිත්ගෙ හොඳම යාළුවා වෙනව. සුමිත් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නෙ රේඩියෝවෙන්. ක්‍රිකට් පිස්සුව තදටම තිබ්බ සුමිත් සියලු ක්‍රිකට් විස්තර විචාර අහමින් ලකුණු සටහන් පවා ලියා ගන්නවා. ඉංග්‍රීසි විස්තර විචාර නිතරම අහමින් ඉංග්‍රීසි කතාව අල්ලාගන්න සමත් වෙනවා. බීජින් ගුවන් විදුලියට හෙරිටාස් එකට නිතර ලියනවා. ප්‍රදේශයේ පිරිස් ඔහු වෙත එන්නේ රටේ ඇත්ත තත්ත්වය දැන ගන්න. ඇයි ඔහු තමයි ගුවන්විදුලිය අහන ජාත්‍යන්තර ගුවන්විදුලි නාළිකා අහන ඒවාට ලියන කෙනා. පොත් පත්තර කියවන කෙනා. වුමන් ඔෆ් චයිනා, ස්පෝර්ට් ඔෆ් චයිනා වැනි ඉංග්‍රීසි සඟරා කියවන කෙනා ඔහු. පුටුවට වෙලා ඉද්දි ඔහු ලස්සනට අකුරු ලියන්නට හුරු වෙනවා. ඈත ගම්මානවල පවා මළ ගෙයක්, උත්සවයක් වුණොත් ඒ සඳහා වන දැන්වීම් පුවරු ලියන්නත් සුමිත් සොයාගෙන දිනපතා එන පිරිස වැඩි වෙනවා. මිනිස්සු තමන් වෙත පැමිණීම සුමිත්ට මහත් ආස්වාදයක්. බෞද්ධ මධ්‍යස්ථානයේ එල්ලාවල සෝභිත නායක හාමුදුරුවො පන්සලෙ පිංකම්වල දැන්වීම් අඳින්න බාර දෙන්නෙත් සුමිත්ට. වාම දේශපාලනයට සම්බන්ධ පොත් සියල්ලම වාගෙ ඔහු රෝද පුටුවට වෙලා කියවනවා. පොත් කියැව‍ම් උනන්දුව නිසාම මහජන පුස්තකාලයට බැඳෙන ඔහුට මිත්‍රයන් නිතර පොත්පත් ගෙනත් දෙනව. රුසියානු සාහිත්‍යයට පුදුම තරමෙ කැමැත්තක් ඔහු තුළ උපදින්නේ ඒ කාලෙදි. එතකොට ඔහුට අවුරුදු 15ක් වගේ. ඉනෙන් පහළ කිසිම ක්‍රියාකාරිත්වයක් නැතිකම ගැන ඔහුට ඒ කාලෙ කම්පාවක් තිබුණා. රුසියානු ලේඛක බරීස් පලෙවොයිගෙ සැබෑ මිනිසකුගෙ කතාවක් කෘතිය ඔහුට කියවන්න ලැබුණා. එතැනින් ඔහු හිතන විදිය වහාම වෙනස් කරගන්නවා. තමන් ගැන කම්පා වෙනවාට වඩා තමන් ගැන තමන්ටම ආඩම්බර වෙන්න පුළුවන් විදියට ජීවත් වෙන්න ඔහු තීරණය කරනවා. දවසක් රෑ සුමිත් අම්මා එක්ක ටිකක් වැඩිපුර කතා කරනවා. ඒ සේන වෙළෙඳසල දියුණු කරන විදිය ගැන. ඒ කාලේ පුත්තලමෙන් ලුණු එන්නේ කොහු ලණුවෙන් කරන ලද දැල් ගෝනියේ. සුමිත් අම්මා එක්ක කතා කරගත් විදියටම ගෙදර කට්ටිය ඔක්කොම එක්කහු කරගෙන ලුණු කිලෝ එකේ පැකට් බවට පත් කර අතින් ලියා මිල සටහන් කර කඩේ තියනවා. අම්මාගේත් අක්කලාගේත් දැනුම එක්ක එයාල අයිස් පැකට් හදන්න ගන්නවා. සුමිත් දිවා රෑ අනෙක් හැමෝගෙම සහයෝගය අරන් අයිස් පැකට් කරන වැඩ කරනවා. මේ සියල්ලේ මූල්‍ය පාලනය සුමිත්ටම හිමිවෙනවා. අම්මා අප්පච්චි අක්කල අයියල නංගි ඔය කවුරු යම් අවශ්‍යතාවකට මුදල් ගද්දි වුවත් සුමිත්ගෙ අනුදැනුම මත සිද්ධ වෙනවා. රෑට දුංකොළ පැකට් කරන එකේ ඉඳලා හැම කාර්යක්ම සුමිත් එක්ක සහෝදර සහෝදරියන් කරනවා. දවසෙන් දවස සේන වෙළෙඳසල දියුණුව කරා එන්නේ සුමිත්ගෙ මූල්‍ය පාලනයේත් පවුලේ සමගියේත් කැපවීමේත් ප්‍රතිඵල මතයි. ඔය වකවානුවෙම සුමිත්ගෙ අප්පච්චිට ග්‍රාමසේවා නිලධාරී පත්වීමක් ලැබෙනවා. සුමිත්ගෙ නැගණිය වැඩිවියට පත්වීමෙන් පසු චාරිත්‍ර වාරිත්‍ර නිමවා ‘‘මෙන්න පුතේ උඹට අදින් පසු පොඩි කෙල්ල බාරයි. ඒකිගෙ අනාගතේ හදපං’’ කියා අම්මා නංගිව බාර දෙන්නේ සුමිත්ට. ඔහුට මතක ඇති කාලෙක සුමිත් අඬපු අවස්ථා දෙක තුනෙන් එකක් එදා. රෝද පුටුවට වෙලාම ඉන්න තමන්ට අම්මා නංගිගෙ අනාගතේ හදන්නැයි බාර දුන්දා තමන් ගැන අම්මා තබා තිබෙන විශ්වාසය කොතරම්දැයි ඔහුට වැටහෙනවා. ‘‘අම්මා තමයි මට හිටිය විශාලම හයිය. පුදුම ආදරයක් තිබ්බෙ මට. මට විතරක් නොවේ අපි හැමෝටම එහෙමයි. මං වෙනුවෙන් අම්මා වෙච්ච වෙහෙස ඒවගේම අක්කලා සහෝදරයෝ වෙච්ච වෙහෙස අප්‍රමාණයි. ඔහු එහෙම කියද්දිත් ඔහුගෙ ඇස්වල කඳුළු පිරුණා. සේන වෙළෙඳසල ගමේ කඩයක්. එය ක්‍රමයෙන් වෙනස් කර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම පුද්ගලික ග්‍රාමීය සුපිරි වෙළෙඳසල බවට පත් කරන්න සුමිත්ට හීනයක් තිබුණා. ඔහු ඒ ගැන නිතර අම්මා එක්ක කතා කළා. සහෝදර සහෝදරියන් එක්ක වෙහෙසුනා. පුංචි වෙළෙඳසල තට්ටු තුනක් සහිතව වර්ග අඩි 8000ක පමණ දැවැන්ත සුපිරි වෙළෙඳසලක් බවට පත් වෙන්නේ ඒ උත්සාහය නිසයි. ජීවිතේ අහිමිවීම්වලින් තෙම්පරාදු වෙච්ච සුමිත් සුපිරි වෙළෙඳසල හදන්න පළමු මහලෙ උඩ කොන්ක්‍රීට් එක (ස්ලැබ්) එක දාල ඉවර වෙනකොටම වාගෙ අම්මා මෙලොව හැර යනවා. ආයෙත් දුකෙන් පිරුණු කාලයක් ඔහුට උරුම වුවත් අම්මා එක්ක කතා කරගත් ව්‍යාපාරය ඔහු අම්මාගෙ ප්‍රාර්ථනය වෙනුවෙන් ගොඩනගනවා. සේන වෙළෙඳසල සේන සුපර් බවට පත් වෙන්නෙ සියලු නවීන අංගෝපාංගයන් සහිතව සහ අවශ්‍ය කාර්ය මණ්ඩලයද සහිතව. තමන්ගෙ මූලිකත්වයෙන් ගොඩනැගුණ සාර්ථක ව්‍යාපාරය තුළින් ප්‍රදේශයේ ජනතාවට අමතර යමක් කළ යුතුයැයි සුමිත් කල්පනා කරනවා. ඒ අනුව 2008 වසරේ සිට සේන සුපර් ඇසළ වන්දනා නමින් වාර්ෂික වන්දනා චාරිකාවක් ඔහු සූදානම් කරනවා. දොර දෙකේ බස් 6ක් කුලියට ගෙන ගම්බිම්හි ජනතාවට ආරාධනා කර ඔවුන් හා එක්ව වන්දනාවේදී අවශ්‍ය ආහාරපාන ආදී සියල්ල ඔවුන්ට ලබාදෙමින් නොමිලේ වන්දනාවක රැගෙන යාමයි සිදු වෙන්නේ. එසේ වන්දනා ගමන් වාර 10ක් වාර්ෂිකව ඔහු විසින් සිදු කර තිබේ. ‘‘මම ගම්වල මිනිස්සු අරගෙන මගෙ වියදමින් බස්වල ගිහින් පූජනීය භූමිකාව රෝද පුටුවක වාඩි වෙලා ඉද්දි ඇතැම් අය මා ගැන නොදන්නා වන්දනාකරුවන් මගෙ ඔඩොක්කුවට රුපියල් සීය පනහ දාපු අවස්ථා තියෙනවා. මට එතකොටත් හිනාවක් ගිහින් ආඩම්බර හිතෙනවා. කාටවත් අත නොපා අන්‍ය බොහෝ දෙනකුට උපකාර කරමින් මම ජීවත් වෙනව නේද කියලා. සුමිත් රෝද පුටුවෙ සිටියද අභිමානය මුසු තෘප්තියකින්ද ජීවත් වෙන මිනිසෙක්. මුහුණු පොතේ නිර්මාණ කරණයේ නිරත නිර්මාණ කියවන අය අතරද සුමිත් අතිශය ජනප්‍රිය අයෙක් වන්නෙ ඔහු කවි ලියන්නටත් හපන්. මුහුණු පොතේ ‘‘අසම්මත’’ නමින් පෙනී ඉන්න ඔහු ආබාධ තත්ත්වය පසෙකලා අනුරාධපුරයේ සිට කොළඹ පැවැත්වෙන කවි පොත් එළිදැක්වීම්වලටද සහභාගි වෙනවා. ළඟදීම ඔහු ලියූ කවි පොතක් ප්‍රකාශයට පත්වීමට නියමිතයි. අම්මා විසින් නංගිගේ අනාගතය ගැන තැබූ බලාපොරොත්තු ඔහු ඉටු කළා. අද ඇය උපාධිධාරිනියක් වගේම දෙදරු මවක් වන අතර සංවර්ධන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව සිටිනවා. 2017 සේන සුපර් ව්‍යාපාරය තම බාල සොහොයුරාට බාරදීමෙන් පසු ඔහු රඹෑව නගරයේම රුපියල් කෝටි ගණනක වියදමකින් තට්ටු තුනක ගොඩනැගිල්ලක් හදලා ව්‍යපාරයක් තමන්ගේ නමින් ආරම්භ කළා. අද නගරයේ ජනප්‍රිය සුපිරි වෙළෙඳසලක් වන රිච්වේ ව්‍යාපාරය ඔහුගේ. වැඩිමහල් සොයුරිය සුනීතා වීරකෝන්ගේ පූර්ණ සහයෝගය මත සාර්ථකව මෙහෙයවමින් ඉන්නවා. මගේ සහෝදර සහෝදරියනුත් තමයි මගෙ නොවැටී සිටීමේ රහස. සමාජයේ ගොඩක් අය ආබාධිත අය දෙස බලන්නත් අනේ පව් එයාට මොකද වුණේ කියල. ඇත්තෙන්ම ආබාධිත අයට ඕන ආදරය හා රැකවරණය මිසක් හිඟමන් නෙවෙයි. අද වනවිට සුමිත් වීරකෝන්ගේ වයස අවුරුදු පනස් එකයි. වසර තුනක් වන තම නව ව්‍යාපාරයද ඔහු සාර්ථකව මෙහෙයවමින් සිටී. ආබාධිතයන්ට අද දවසේ සමාජ සැලකීමේ ගැටලු කිපයක් තියෙනවා. විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් කොච්චරවත් මගෙන් නීත්‍යානකූල කටයුතු නිසි වෙලාවට කර දෙන්නත් අල්ලස් අරන් තියෙනවා. ඔහු කියන්නේ කනගාටුවෙන්. ‘‘ආබාධිතයකු ලෙස අප දෙස අපූරු ඇසකින් බැලීම නොවෙයි කරන්න ඕන. අප කරන කාර්යයන්හි අපූර්වත්වයයි දකින්න ඕන. මම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට අවස්ථා ගාණක දීම කියා තිබෙනවා අප වගෙ අය දිරිමත් කරනවා විනා හැකි උපරිමයෙන් සෘජු හා වක්‍ර බදුවලින් පීඩා කරමින් කැඳවීම් කර හිංසනයට ලක් කිරීම නවත්වන්න කියලා. ඔවුන්ගේ බලාපොරොත්තුව රෝද පුටුවට වී සිටින අය පාරේ සිඟමන් යැදීම දෝයි හිතුණ අවස්ථා තියෙනවා. තම ජීවිතයේ ලද කටුක අත්දැකීම් අත්විඳීම් රැසක් මත වුවද අදද සුමිත් වීරකෝන් රෝද පුටුවට වී තමන් දිනාගත් ජීවිතය දෙස බලමින් නිහතමානීව සතුටු වන්නෙකි. ජයන්ත සුබසිංහ
 

More News..