brand logo

කෑමට කෑදර කඩවර

05 May 2019

කඩවර දෙවියන් පිළිබඳ විශ්වාසය ජනතාව තුළ පවතින්නේ අතීතයේ පටන්ය. එයට හේතුව නම් පරම්පරාගතව රැකගෙන ආ වත් පිළිවෙත් ශිෂ්ටාචාරයයි. මේ නිසා පරම්පරාවෙන් පරම්පරාවට කඩවර දෙවියන් ඇදහීමද අපේ රටේ ජනතාව ඉතා භක්තියෙන් හා ගරුසරුවෙන් කරන්නාවූ අභිචාරමය පූජාවකි. නුවරකලාවීය රුහුනු උතුරුමැද පළාත් කඩවර පූජා සිදුකරනු ලබන්නේ වැව් දිය සහ සම්බන්ධ කටයුතුවලදීය. කඩවර දෙවියන් වැව් අමුණු ආරක්ෂා කර ඒවා විනාශ වී යා නොදී රැකබලාගන්නා බවට ජනතාවගේ විශ්වාසයයි. ඉන් සතුටුවන ජනයා ඒ පිළිබඳව පුදපූජා පවත්වමින් දේවගුණ ගායනා පවත්වන විට ඒ සතුටෙන් කඩවර දෙවියන් ජනතාවට දුකක් නොදී ජලතටාක ආරක්ෂා කිරීම සිදුකරයි. බොහෝ වැව් නිර්මාණය පිළිබඳව ගෙතී ඇති පාරම්පරික ගැමි කතාවල කඩවරදේව විශ්වාසය පිළිබඳව තොරතුරු සඳහන්ව ඇත. කලාවැව හා සම්බන්ධ පුරාවෘත්තවලත් දකුණේ ඌරුසිටා වැවේ නිර්මාණ කතා සම්බන්ධවත් මේ අයුරින් කඩවරදෙවියන් හා සම්බන්ධ ප්‍රවෘත්ති අපට හමු වේ. කඩවර පූජා, කඩවර ඇදහීම, හා කඩවර දෙවියන් පිළිබඳ වාර්ෂික මංගල්‍ය කටයුතුද ඉන් අනාවරණවේ. වැව් ජලතටාක හා අමුණු ආරක්ෂා කිරීමේ කටයුත්ත දේව සභාව විසින් භාරදී ඇත්තේ කඩවර දේවතාවටයි. ජනතාවගේ ඉල්ලීම පරිදි අනුකම්පාවෙන් බලා ඒවා ආරක්ෂා කරදීම මෙම කඩවර දෙවියන් සතු වගකීමයි. දේව සභාව ඒ පිළිබඳ සොයාබලන බව ඒ හා සම්බන්ධ පූජා විධි පවත්වනු ලබන ඇදුරන්ගේ නිගමනය වී තිබේ. ඒ නිසා තමන් කඩවර දෙවියන් වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් කිසිදු ඉවතලීමකින් තොරව ඉෂ්ට සිද්ධ කරදෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. වසර ගණනාවක් තිස්සේ කඩවර දෙවියන්ට පූජාතබන සුමතිපාල වෙදදුරුවරයා, කඩවරදෙවි යමක් ඉටුකරදෙන්නේ භක්තියෙන් යුක්තව පුද පූජා තබා කන්නලව්කර අයැද සිටින විට බව පවසයි. නියමිත පූජාවක් තබා නිසිලෙස පිළිවෙත් සම්පූර්ණකර කෙම්මුර දිනවලදී පවත්වනු ලබන යාතිකා විමානවල සිටින කඩවර දේවතාව ඒවාට සවන් යොමුකොට නිසි පරිදි ඉල්ලාසිටින ඉල්ලීම ඉටුකරදෙන්නේ කඩවර නියෝජිත දේවතාවුන් හත්කට්ටුව මගින්ය. මේ සඳහා යාතිකා යාදිනි සහ කවි තිබෙන අතර වෙදැදුරන් මේ කවි ගායනා උඩැක්කි හෝ බෙර වාදනය කරමින්ම ගායනය කරනු ලබයි. කඩවර දේවතාවාට ජනයා වෙනුවෙන් යම් මෙහෙයක් කිරීම සඳහා වරම් දෙනු ලබන්නේ කතරගම දෙවියන් විසින්ය. කතරගම දෙවියන්ට ඉතාමත් ගරුසරු සහිතව සිටින කඩවර දේවතාවා කතරගම දෙවි අණ ඉක්මවා කටයුතු කරන්නේ නැත. එසේම කතරගම දෙවියන්ගේ රන්තොරණ ආරක්ෂා කරමින් එහි සිටින කඩවර, කතරගම දෙවියන්ගේ අණින් ජල තටාක හා ඒ හා සම්බන්ධ සම්පත් ආරක්ෂා කිරීමේ යෙදෙනු ලබයි. කඩවර දේවතාවා සිය පිරිසත් සමග කතරගම දෙවිඳුන් හමු වූ මොහොතේ තමන් දෙනු ලබන වරම කඩනොකර ආරක්ෂා කරගන්නා ලෙස අවවාද කර ඇත. ඒ අවවාද අනුව කිසිම විටක දුන්වරය කඩ නොකළ බව කඩවර ශාන්ති​යේ දැක්වේ. රන් තොරනේ මුරකර සිටිනා කඩවර වන් අතිනේ ගෙන යන මුගුර සැරවැර රන් විමනෙන් එළි බැස එන්ඩ අවසර එන් ඉතිනේ පන්දම් තේව කඩවර කතරගම දෙවියන්ගෙන් කඩවර දෙවියන් වරම් ගන්නේද පුදුම සහගත ලෙසකටයි ඒ කතරගම දෙවිගේ මඟුල් දිනයේදීයි. මඟුල්කෑම පුරාතනයේ සිටම සිදු කෙරුනේ යාළු මිත්‍රාදීන් හා නෑයන් සමගයි. කතරගම දෙවියන්ද වල්ලිඅම්මා සමග විවාපත්වූයේ මහා මඟුල් කෑමක් පවත්වායි. ඒ සාදයට මස් මාළු ආදී කිසිවක් ගත්තේ නැත. පලතුරු එළවළු ආදී දෙයින් මඟුල්සාදය සම්පූර්ණ වී තිබුණි. මුළු දේව සභාවටත් හිතවතුන්ටත් මඟුල්ගෙදරට ආරාධනා ලැබී තිබුණි. කඩවරටද ආරාධනාවක් විය. කඩවර ඉතා කෑදර අයෙකි. මඟුල්ගෙදර යන අතරමගදී කඩවරට හිතවතුන්ගෙන් කෑම බීම ලැබුණි. පෙරැත්තයකින් තොරව කඩවර ඒවා කෑවේය. මස් මාළු ආදියත් අනුභව කළේය. බඩගෙඩිය බෙරගෙඩියක් තරම් විශාලවිය. කුරුම්බාගෙඩි පන්සීයක වතුරද බීවේය. මේ සියල්ල කෑවත් බීවත් තවත් බඩ පිරීනැත. මඟුල්ගෙදරටද ගියේය. කතරගම දෙවියන් හා වල්ලි අම්මා බොහෝ සතුටින් කඩවර පිළිගත්තේය. මගදී ලැබුණ පොල් රා කළගෙඩියක්ද හිස්කළ කඩවරට දැන් හොඳටම වෙරිය. වැනි වැනී කීවේ අවසර! කතරගම හාමුදුරුවනේ මට හරියට බඩගිනියි කියාය. කතරගම දෙවියන් සිදුවූ සියල්ල දිවැසින් දුටුවේය. කඩවරගේ කීම ඇසූ කතරගම දෙවියන්ට සිනා නොවී සිටිය නොහැකි විය. ‘‘හා හොඳයි’’ මම නුඹට වෙනම කෑම මේසයක් සූදානම් කරනවායි කී කතරගම දෙවියෝ මේ කෑදරයාට වෙනම ගොටුවක් සදව්! යයි අණ කළේය. එදා සිට අද දක්වාම කඩවර ගොටුව පිළියෙල වන්නේ එදා කතරගම දෙවියන් මඟුල්ගෙදරදී කෑමට දුන් ආකාරයටයි. මඟුල් ගෙදරට සහභාගි වූ කඩවරට කතරගම දෙවියෝ වරම් දුන්නේ ගම්පත්තු වැව් අමුණු හා මිනිසුන්ගේ භව බෝග ආරක්ෂා කර රැක​ දීමටයි. දස කඩවර මද්දීම සොමි පුල්ලා දල මල්සයනේ ගොටුවද ඉල්ලා මෙ ලංකාවේ රෝ දුක් හැරපල්ලා දල කඩවර එයි ගොටුවක් ඉල්ලා කඩවර යක්ෂාධිපතියෙකි. බොහොම ගරු ගාම්භීර යක්ෂයෙකි. කාලී යක්ෂණිය සේම වරදට දඬුවම් කරන කඩවර හොඳට හොඳ නරකට නරක යක්ෂ සේනාපතියෙකි. පිරිවරද සමග සැරිසරන කඩවර මිනිසුන්ගේ දුක් අඳෝනා ගැනද විමසා බලන බව විශ්වාසයයි. ඒ නිසාම කඩවර ඇදහීමද ඉතාමත් උසස් අයුරින් සිදු කෙරේ. ඉතා තද වැසි වැටී වැව් අමුණු උතුරා යන විට වැව් වාන්දාන විට වැව් අමුණු බිඳී යාදැයි සැක සිතන ගැමියෝ ඊට උපකාර කරගන්නේ කඩවර දෙවියන්ය. වහාම බාරයක් පඬුරු වෙන්කොට කඩවර දෙවියන්ට කන්නලව්කර කියා සිටීම ඉන්පසු සිදුකෙරේ. ‘‘රන් තොරණේ මුරකරමින් වැඩසිටින පින්කාර බලවත් කඩවර දේවතාවුන් වහන්ස, වම් අතින් මුගුරක් ගෙන මහා බලපරාක්‍රමයෙන් යුක්තව රන් විමනේ සිට දිවැස් බලාවදාරා ගැත්තන්ට වැදී තිබෙන්නාවූ දුක් දැක තෙද අණ පතුරවා පන්දම් පාලි පවත්වා සපිරිවර සමග වැඩමකර දුක්ගන්නාවූ ඔබවහන්සේගේ ගං කොටුවේ සිටින මෙම දරුවන්ට උන්ගේ දුක් කම්කටොලු බලා වදාරා’’ ආදී ලෙස යාතිකා කර පඬුරු ගැටගසා ඒ බාර ඔප්පු දෙන බවට දිව්රා පොරොන්දු වී සහනය ඉල්ලීම සිදුකරන අතර එයින් යම් ශාන්තියක් වූ පසුව කඩවර දෙවියන් සිහිකර පුද පූජා පැවැත්වීම සිදුකෙරේ. එය ඉතාමත් දර්ශනීය අයුරින් සිදුකෙරෙන දේව පූජෝපහාරයකි. කඩවර පූජාව සඳහා දොල ලෙසින් බත්ගොටු පුදදීම සිදු වේ. මේ සියලු පූජා සඳහා කැවිලි සකසන්නේ පිරිමින් විසින්ය. ගැහැනු ඊට සහභාගි කරගැනීමක් සිදු නොවේ. මේ සඳහා පැණිරස, පුලුටුරස, මිරිස් රස බැදුම් රස ආදී බොහෝ රසවර්ගත් පලතුරු ආදියත් ඇතැම්විට රා ආදී බීමත් යොදා ගැනේ. ඉනා මෙ කඩවර යකුනි අසන්​ නේ කනා කතුන්හට කල් බැඳ ගන්​ නේ ඕනැ ලෙසට ​දොල පිදේනි ගන් නේ ඉනා මෙකඩවර ගොටු පුදගන් නේ පූස්ඹ සැවැන්දර මුල් ඉරිවේරි ය සාදික්කා චන්දන කස්තූ රි ය පිනිදිය දුම්මල තෙලි ඇති මීරි ය මේ ලෙස පුදනට සදති පිදේනි ය මෙහි තවත් එක් රසවත් කතාවක් නම්, කඩවරයා කතරගම දෙවියන්ගේ අණ පිළිගත්තත් කඩවර කතරගම දෙවියන්ට එතරම් භය පක්ෂපාතී බවක් නොදැක්වූවේය. එනිසා මුල් වරට කතරගම දෙවියෝ ​ කඩවරට ගොටු තටු නොදී ඉන්ට කල්පනා කළ නමුත් කඩවරයා තරමක් දරුණු ගනයේ යක්ෂාධිපතියකු වූ නිසා ගොටු දීමට සිදුවිය. එය ශාන්තිකර්ම සාහිත්‍යයේ මෙලෙස දැක්වේ කතරගමට කඩවර වැඩ මකරතොරණ මුරකරන්ඩ අතරමගදි රැගෙන මුගුර යකුන්ට බැටදී වඩින්ඩ රන්දමකින් ගෙතුවා වැනි සැඩපලු සිරසේ දිලෙන්ඩ කන්දස්සාමිට බැරිවිය ගොටුව නොදී වළක්වන්ඩ කඩවර දේවතාව රන්තොරණේ සිට ලොවදෙස බලා සිටින්නේ මගෙන් පිහිටක් වුවමනා කරන්නේ කාටද? යන කරුණ විමසමිනි. ​ යම් තැනක තමා වෙනුවෙන් යම් දොලක් නැතහොත් ගොටුවක් සූදානම් වන්නේ නම් එතැනට කල්තබා දිවැස් බලා වැඩවදාරණ කඩවර දේවතාවා වහාම වෙසමුනි රජු ආදීන්ගෙන් වරම්ගෙන දුකට පිහිට වීම සඳහා සූදානම් වේ. මෙය ඉතාමත් අනුකම්පාවෙන් සිදු කරන පිහිට වීමකි. ඇදුරන් එය සත්‍ය බවට ප්‍රකාශ කර සිටිති. කඩවර දේවතා වෙනුවෙන් පුදන බිල්ල සැවුල් බිල්ලයි. ඊට කඩවර යක්ෂයා ඉතාමත් කැමතිය. දෙමළ රජුට දාව බාහු පතීගේ කුසේ උපන් කඩවර දේවතාවාගේ ජන්මභූමිය වන්නේ ආඬිමරක්කල දේශයයි. මොහු අනෙක් දෙව් දේවතාවුන් මෙන් අපේ රටට විදේශයෙන් පැමිණි යක්ෂසේනාපතියෙකි. ඒ බැව් කඩවර පූජාවේදී අපට අසා දැනගත හැකිය. කඩවර කර අයිලක් සරසන්නේ අඬ මොරගා කුකුළන් බිලිගන්නේ දැඩිකර අය අල්ලා නටවන්නේ කඩවරමයි සැපසේම වඩින්නේ කඩවර දෙවි උදෙසා දොල ගොටු තබන්නේ ඊසානදිගට වන්නටය. ඒ ඔහුගේ දිසාවයි. මේ සඳහා ඇවරිකණු ලෙස යොදාගන්නේ රුක්අත්තන ලීයකින් තනාගත් ඇවරිකණුවකි. එය කඩවර පූජාව සඳහාම නියමිත වූ ලී වර්ගයකි. විශේෂයෙන් ගොටුව සඳහා රා අරක්කු යන මත්පැන් දෙවර්ගයම තැබිය යුතුය. කඩවර දේවතාවා ලෝක සත්ත්වයා දෙස රාත්‍රි දෙකටම පොදුය. විශේෂයෙන් කඩවර දේවපූජා පවත්වනු ලබන්නේ රාත්‍රි කාලයේදීය. කඩවර සත්කට්ටුවකට පූජාවේදී ආරාධනය කරනු ලබයි. එහිදී කඩවර හත්දෙනෙකුගේ නම් මේ අයුරින් කියවේ. තෙල්කඩවර, මල්කඩවර, ගොපළු කඩවර, සඳුන් කඩවර, අඳුන්කඩවර ලේකඩවර හා සොහොන් කඩවරයි. මේ හත් කට්ටුව ගොටු ජුජාතැබීමේදි පිරිවර කඩවර දේවතාවුන් ලෙස මෙසේද වීදියට අඬගසනු ලබයි. ඒ මේ අයුරින්ය. තෙල්කඩවර, මල්කඩවර, අඳුන්කඩවර, හඳුන්කඩවර, ආසමේ කඩවර තොටයක් කඩවර, මැදියක් කඩවර, තනිකඩවර, ගොපළු කඩවර හා රත්න කඩවර විලසින්ය. ගිනි ගිනියම් ලෙඩ නිතර කරන්නේ ගිනිකඩවර මේ ගොටු පුදගන්නේ පිදේනියද රතු මලින් සදන්නේ ලේකඩවර මේ ගොටු පුදගන්නේ වැදී තිබෙන රෝ දුක් නැතිවන්නේ වැදියක්කඩවර ගොටු පුදගන්නේ තොට යන අඟනන් දැක ලොබ ගන්නේ තොටයක් කඩවර ගොටු පුදගන්නේ මෙසේ කඩවර දේවතාවුන් රාශියක් පිළිබඳ තොරතුරු ඒ හා සම්බන්ධ පූජාවලදී අපට අසන්නට ලැබේ. මේ සියලු පුද පූජාවන් පවත්වනු ලබන්නේද මුල්කඩවර දේවතාවා ප්‍රධාන කොටගෙනය. කඩවර දේවතාවා උදෙසා ඉදිකරන ලද මහාකඩවර දේවාලයක් කලා වැවේ වැව් බැම්ම මත දක්නට ලැබෙන අතර මෙහි ඉතා උත්කර්ෂවත් අන්දමින් වාර්ෂික කඩවරදේවතා මංගල්‍යයද පවත්වනු ලබයි. කඩවර උත්පත්තිය පිළිබඳව වූ පෞරාණික විස්තර මෙම මංගල්‍යයේදී කවි මාර්ගයෙන් විස්තර කෙරේ. ශාන්තිකර්ම ඇදුරන්ගේ මතයට අනුව යම් යම් ශාන්තිකර්ම ක්‍රියා සඳහාත් නොයෙක් ව්‍යසන ආදි​යේදීත් කඩවරදේවතාවා අනෙක් දෙවි දේවතා ගොල්ල හදි කිරීම සඳහා පණිවුඩකරුවෙක් ලෙසද යොදාගන්නා බව පැවසේ. කෙසේ වුවත් මිනිස් සමාජයේ මානව ක්‍රියාකාරකම් ඇතිවූ දා සිට මේ දෙවි දේවතාවරු අපේ මිනිස් සමාජයට උදව් කරමින් සහයෝගය දක්වමින් සියලු මිනිස් සමාජයට උදව් කරමින් සහයෝගය දක්වමින්. සියලු කටයුතු සාර්ථක කරගැනීම සඳහා උදව්වන බව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි. දෙවි දේවතාවරු ඇතැම්විට වරදට දඬුවම් කිරීමේදී දුකක් සිදුවූ විට ඒ දුක්කරදර ආදියෙන් මිදෙන්ට උපකාර කිරීමක් සිදුකරනු ලබයි. දෙවි දේවතාවුන් සමඟ සිදුකරන කටයුතුවලදී හැමවිටම වරද නොගන්නා ලෙසත් වරදක් දුටුවොත් ඊට සමාව දෙන ලෙසත් ඉල්ලීම නැවත නැවත සිදුකරන්නේ මේ සියලු දෙවි දේවතාවූන්ම හොඳට හොඳත් නරකට ඉතාමත් නරක නිසාත්ය. (ශාන්ති පූජා විසාරද ඒ සුමතිපාල වෙදැදුරු මහතා සමග කළ සාකච්ඡාවකින් තොරතුරු හෙළි කරගන්නා ලදී.) ධර්මරත්න තෙන්නකෝන්
 

More News..