brand logo

කැස්බෑ බිත්තර 84ක් ළඟ තබා ගත් දෙදෙනකු අත්අඩංගුවට

26 June 2020

මෙරට දැඩි ආරක්‍ෂිත සත්ත්වයකු වන කැස්බෑවෙකුගේ බිත්තර කැදැල්ලක් විනාශ කරමින් එහි තිබූ බිත්තර 84 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 168000ක දඩ මුදලක් නියම කිරීමට ඊයේ (25දා) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය. ඉකුත් පෙබරවාරි 28 දින අලුයම් කාලයේදී අම්බලන්තොට ගොඩවාය මුහුදු තීරයේදී මෙම කැස්බෑ බිත්තර රැගෙන සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු හුංගම කලමැටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අම්බලන්තොට අක්කරකාල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් ඊයේ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක සැකකරුවෙකුට එක බිත්තරයක් සඳහා රුපියල් 1000 බැගින් බිත්තර 84 ට රුපියල් 84000 ක මුදලක් ගෙවන ලෙස නියෝග කෙරිණි. ඒ අනුව සැකකරුවන් දෙදෙනා සඳහා 168000ක දඩ මුදලක් නියම කෙරිණි . කලමැටිය වනජීවී කාර්යාලයේ වනසත්ත්ව හා අඩවි ආරක්ෂක ඒ.පී.ආර් රවින්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් මත අඩවි සහකාර එල්.ටී ධම්මික මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබිණි. අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට
 

More News..