brand logo

කැලේට බය නැති සෆාරි රියැදුරු නෝනා

24 March 2019

ගෙදරට හොරෙන් තමන්ගෙ අයියගේ ජීප් එක අරගෙන ගමේ රවුම් ගහන නිල්මිණි ඒ වෙද්දි ලයිෂන් නැති ඉස්කොලෙ යන කෙල්ලක්. රිය පදවන්න බැරි වුණත් ගමේ පාරවල් ගානේ අයියගේ ජීප් රිය පදවන නිල්මිණි එක්ක ගමේ කොයි කවුරුත් බොහොම සුහදයි. ජීප් එකෙන් තනියම ඩ්‍රයිවින් පුරුදුවෙන කාලේ කොල්ලො ආරක්ෂාවට තමන්ගෙ වාහන කැලේට හරි දාගෙන නිල්මිණීට ඉඩ දුන්නේ තරහකින් එහෙම නෙවෙයි. කොයිකටත් කියලා ආරක්ෂාවට. ඒ කාලේ නිල්මිණි උඩවලව මඩුවන්වෙල ජනපද විද්‍යාලයේ සමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටියේ. නිල්මිණිගෙ අයියා නිමල් කුමාරසිරි හා හා පුරා කියලා ගෙදරට ජීප් එකක් ගෙනාවත් නිල්මිණි නංගි වාහනවලට එච්චර ලැදියාවක් තිබුණේ නෑ. ඒත් නිල්මිණිට රථගාය හොඳටම තිබ්බා. දැව සංස්ථාවේ වැඩට යන්න නිල්මිණිගෙ තාත්තා ජපන් චැලි මෝටර් සයිකලයක් අරං තිබ්බට මොකද ඒකත් වැඩි පුරම පැද්දෙ නිල්මිණි. විද්‍යා පීඨයේ ඉගෙන ගන්න කාලෙම අයියා අරගෙන ආපු හුරු බුහුටි ජීප් එක තමයි නිල්මිණිගෙ පෙම්වතා වුණේ. අයියා කොහේ ගියත් අයියත් එක්කම එල්ලිලා ජීප් එකේ යන එක නම් රණ්ඩුවෙලා හරි නිල්මිණි කරන්න අමතක කළේ නෑ. අයියා රියැදුරු අසුනේ වාඩි වෙන හැටි යතුරු දාන හැටි වාහනය බ්‍රේක් කරන හැටි රේස් කරන හැටි නිල්මිණි ඇස්ගෙඩි ලොකු කරගෙන බලා ගෙන හිටියා. ඒ චිත්‍ර හිතේ ඇඳගත්තා. ඔහොම බලන් ඉඳලා කාගෙවත් ගුරුහරුකමක් නැතුව නිල්මිණි අයියගෙ ජීප් එක අරං ගමේ රවුම් පදින්න පටන් ගත්තා. අනාගතේ තම රස්සාව වෙන්නෙ මෙහෙම ජීප් පදවන එක කියා එදානම් ඇයට මොහොතකටවත් හිතුණේ නෑ. “උඩවලව මඩුවන්වෙල ජනපදේ තමයි මගේ ගම. දැව සංස්ථාවේ වැඩ පරීක්ෂකයෙක් ලෙස අපේ තාත්තා වැඩ කළා. පේදුරුගෙ පීටර් කිව්වම ගමේ කවුරුත් දන්නවා. එච්.ඩ්බ්ලිව්. පොඩිනෝනා තමයි අම්මගෙ නම. මම  පවුලේ දෙවැනියා.” ප්‍රියංගනි නිල්මිණි කුමාරි ඉපදෙන්නේ 73 - දෙසැම්බර් 17 වෙනිදා. ඇයට වැඩිමල් සොහොයුරෙක් සහ බාල නැගණියක් සිටිනවා. පාසල් කාලයේ සෞදර්යය විෂයන් බොහෝ ප්‍රිය කළ ඇයට උඩරට බෙර, පහතරට බෙර යක්බෙර වගේ බෙර වාදනයේ කුසලතාවකුත් නැටුම් විෂයේ ප්‍රායෝගික කුසලතාත් පිහිටා තිබුණා. ඒ නිසාම ඈ උසස්පෙළට පෙනී සිටින්නෙ සෞන්දර්යය විෂය මාලාව ඔස්සෙ. උසස්පෙළින් පසු නිවසේ නතරවන ඇය විවිධ කලා සංගම් එක්ක නැටුම් අංශ නියෝජනය කරමින් විවාහ උත්සව සහ තරග අවස්ථා සඳහාත් සහභාගි වුණා. ඔය අතරෙම තමයි රියැදුරු කාර්යයට ඇගේ හිත තදින්ම බැඳෙන්නෙ. අයියගෙ ජීප් එකෙන් රවුම් ගහන නිසා අනතුරක් කර ගනීදෝ බියෙන් අම්මා නිතර යතුරු හංගලා තිබ්බට අම්මා යතුරු හංගන තැන් ගැන ඇයට හොඳ ඉවක් තිබුණා. ගෙදර වැඩිහිටියෝ එහා මෙහා වෙච්ච ගමන් ජීප් එක ස්ටාට් වෙන සද්දෙ ඒ ගෙදරින් ඇහුනෙ නිල්මිණි හින්දා. “මට දවස් කීපයක් යනකොට වාහනේ හොඳට හුරු වුණා. ගෙදරට හොරෙන් ජීප් එක අරං රවුම් ගහද්දි පෙට්‍රල් ඉවර වෙලා නතර වුණාම ආයෙත් ෂෙඩ් එකට ගිහින් පෙට්‍රල් ගේන්නත් වෙනවා. ඔය වගේ කටු ගොඩාක් කන්න උනා..” පස්සෙ මට අවුරුදු 19 වෙනකොටම ලයිසන් ගත්තා. එයින් මෙයින් මට උඩවලව තරංග ලර්නස් එකේ රස්සාවකුත් ලැබුණා. අවුරුදු තුනක් වගෙ මම ලර්නර්ස් එකේ වැඩ කළා. ඒ අතරම මම බර වාහන ලයිසන් එකත් ගත්තා.’’ වාහනවලට ඇති කැමැත්ත හා රියැදුරුවරියක ලෙස ඇගේ හැකියාව නිසාම ආධුනික කාන්තා රියැදුරුවරියන් පුහුණු කරන රැකියාවක් ඇයට තරංග ලර්නර්ස් එකේදි ලැබුණා. කාලය අපතේ යවන පුරුද්දක් නොතිබුණ නිල්මිණි තමන්ගෙ ජීවිතේ ගොඩ නගා ගන්න මහන්සි වුණේ තමන්ම හිතලයි. මොනවම හරි ව්‍යාපාරයක් පොඩිවට පටන් ගන්න ඕන කියලා පුංචිම කාලෙත් ඇගේ හිතේ තිබුණා. ගෙදරින් අකැමැති වුණත් ඉස්කෝලෙ යන කාලේ ගේ ඉදිරිපිට පුංචි කඩයක් දා ගත්තෙ ඇගේම වුවමනාවට. ඒවා ඒ තරම් කාලයක් කරන්න වුණේ නැතත් ඇය දියුණු වීමේ උත්සාහය අතහැරියෙ නෑ. “පොඩි කාලේ දාපු කඩේ වහන්න වුණාට මම විභාගෙ ලියලා ගෙදර ඉද්දි මොනවම හරි ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිතුවා.  අපරාදෙ කාලේ නිකන් ගත කරන්නෙ කියලා නිතරම හිතුණා. ඒ නිසාමයි මම ලර්නස් එකේ වැඩ කළේ. ඒත් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනකම මට තිබුණා. ඒ නිසා මම රත්නපුර ඇඹිලිපිටිය පාරෙ 96 හන්දියෙ කඩ කාමරයක් කුලියට අරගෙන රේකෝඩ් බාර් එකක් දැම්මා.” නිල්මිණි රෙකෝඩ් බාර් එකක් දැමූ කාලය මෙරට කැසට් උන්මාදය තරුණ තරුණියන් අතර අතිශය වේගයෙන් පැතිරගිය යුගයයි. ඈ තමන්ගෙ පළාතේ නැති ව්‍යාපාරයක් ලෙස එය හඳුනාගෙන කරගෙන ගියා. රුපියල් 110ට 120ට ගී 16 කැසට් පට විකුණපු යුගයයි ඒ. එහෙත් හිතූ තරම් ඒ ව්‍යාපාරයත් සාර්ථක වෙන්න ඇයට නොහැකි වන්නෙ තම ව්‍යාපාරය උත්සව සමයන්හි පමණක් වෙළෙදාම් සරුවන ව්‍යාපාරයක් වීම නිසාය. කඩ කුලිය ගෙවලා ඉවර වෙනකොට ආදායමක් ඉතිරි නොවුණ නිසා ඇය ප්‍රදේශයේ නැති වෙනත් ව්‍යාපාරයක් පටන් ගන්නාවා. ඒ පොල්තෙල් හිඳින මෝලක් ගෙනත් අරඹන  ඒ ව්‍යාපාරය නම් සාර්ථක වුණා. “පොල්තෙල් වැඩේ සාර්ථක වුණා. මොකද අපේ ගමේ පොල් තියෙනවා. අවුරුදු දෙකක් විතර වගේ තමයි මට ඒ වැඩේ කරන්නත් වුණේ. කඩේ අයිති අය එයාලට කඩේ ඉල්ලුවා. ඉතින් දෙන්න වුණා. එයාලා එතනම පොල්තෙල් මෝලක්ම දැම්මා. එතැන බිස්නස් සරු තැනක් ඔය අතරතුරේම මම පොඩි ලොරියක් කුලියට අරං ගෝලයෙකුත් එකතු කරගෙන උඩවලවේ වතුවලින් කෙසෙල්, ගස්ලබු මිලදී අරගෙන මහරගමට ඇවිත් තොග වෙළෙන්දන්ට විකුණුවා.” ඇගේ ජීවිතය පුදුමාකාරය. නොපසුබස්නා වීර්යයෙන් යුක්තය. යෞවනියක වුවද ඈ සහයකයෙකු රැගෙන පලතුරු ලොරියක් ගෙන අගනුවර මහරගම දක්වා රියැදුරුකමද කරමින් පැමිණ වෙළෙදාමක නිරතවීමද සාපේක්ෂව සිතූ කල වෙනස් වැඩකි. වයස අවුරුදු 25 වනවිට තම හිතගත් තරුණයෙකු වූ එදිරිමාන්න සමග විවාහ වූ ඇය මාපියන් සෙවණේ කිසිවකු නොමැති බැවින් මහ ගෙදරම පදිංචි වී තිබේ. ඇගේ ස්වාමියා පොලිස් නිලධාරියෙකි. “මගේ සහෝදරයා ගුරුවරයෙක් වශයෙන් සේවය කරන අතරේ එයාගෙ නෝනා එක්ක එකතුවෙලා සංචාරක නවාතැන් පළක් ආරම්භ කළා. ඉතින් අයියම තමයි මට කිව්වෙ ඔයා වාහනවලට ඩ්‍රයිවින්වලට කෝමත් කැමතිනෙ එනිසා ජීප් එකේ සීට් ටික ගහගෙන උඩවලව සෆාරි පටන් ගන්න කියලා.” තම නැගණිය ගැන හොඳින්ම දන්නා ඇගේ සොයුරා ඇයට ඉතාම හොඳින් කළ හැකි එහෙත් අභියෝගාත්මක සෆාරි රියැදුරු රැකියාව කරන්නැයි කීම මත ඇය ඊට නැඹුරුව ඇත. උඩවලව වනෝද්‍යානය හුරු පුරුදු තම සොයුරාගේ මිත්‍රයෙකු සමග ඔහුගේ සෆාරි ජීප් රථයේ දින කීපයක්ම පුහුණුව දැනුම ලබා ගැනීමට වෙහෙසුන ඇය ඉතාම ඉක්මනින් වනෝද්‍යානයක වාහන හැසිරවීම, සතුන්ගේත්, සංචාරකයන්ගේත් ජීවිතාරක්ෂාව හා වනෝද්‍යානයටම අදාළ නිතී රීති සියල්ල මැනවින් වටහා ගත්තාය. කාන්තාවක් වුවද පිරිමින් පමණක් ලංකාවේ කරන මේ සෆාරි රියැදුරුකම තමන්ට ඉතා හොඳින් කළ හැකි බවටත් ඇය විශ්වාස කළාය. “ අයියාගෙ මග පෙන්වීමෙන් තමයි මම මේ වැඩේට මුලපිරුවෙ. නමුත් ටික දවසක් යනකොට ගෙදර ජීප් එක මේ වැඩේට ගැළපෙන්නෙ නැති නිසා මම සංචාරක වැඩ කරන හිතවත් ගෙදරකින් කුලියට තමයි බොලෙරෝ ජීප් එකක් ගත්තේ. එහෙම අරං වැඩ කරනවා.” ඇය සමග වනෝද්‍යාන සංචාරයේ නිරතවන සංචාරකයන් ඉතා තෘප්තිමත්ව ගමන නිමා කරන්නෙ ඇයට සුබ පතමිනි. විනීත හා ආරක්ෂාකාරි මෙන්ම උපක්‍රමශීලීව ගමන් කළ යුතු වනෝද්‍යානයේ දැන් අස්සක් මුල්ලක් නෑර ඕ දැන හඳුනයි. “මුලදි මුලදි මේ රස්සාව ගැන චකිතයක් තිබ්බා. ඒත් මම වැඩේ ආසාවෙන් කළා. මා එක්ක යනෙන සංචාරකයන් ගමන් නිමාවෙදි ගමන අගයා ස්තුතියි කියා කියන වචන ඇහුණම මහන්සිය නිවෙනවා” උඩවලව සොඳුරු වන උද්‍යානයක් බව ඇත්තය. ඒ සුන්දර කමට යටින් අනතුරුදායක භයානක තත්ත්වයන්ද තිබේ. විෂකුරු සර්පයන්, දැවැන්ත අලි ඇතුන් දිවියන් ඇතුළු විවිධ සත්ත්ව පන්තීන් කෝපාවිෂ්ඨ නොකර ඔවුන්ගෙ ජීවිතවලට බාධා නොකර ඔවුන් සමීපයට ගොස් සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව ලබාදීම සැබෑම අභියෝගයක් ය. එවන් විටෙක විවිධ අකරතැබ්බයන්ට ලක් වීමට වීමද සාමාන්‍ය තත්ත්වයක්. “දවසක් සංචාරකයො දෙන්නෙක් එක්ක යද්දි තනි අලියෙක් අපට ඉදිරියෙන් ගොස් හැරී නැවත වාහනය ළඟට ආවා. බොනට් එකට හොඬ තියලා තද කළා. වාහනේ පෙරළන්නත් දෙපාරක් විතරත් උත්සාහා කළා. එදානම් ටිකක් බය වුණා. ඒත් වනෝද්‍යාන බිමේ වාහනයෙන් බහින්න තහනම්. එහෙම බහින්න අවසර තියෙන තැන් දෙකයි තියෙන්නෙ. ඉතින් විශාල වෙලාවක් මහන්සියක් දරලා තමයි එදා ඒ අලියාගෙන් නිදහස් වුණේ.” නිල්මිණි සෆාරි රියැදුරු රස්සාවෙදි එවන් අවස්ථා රැසකට මුහුණ දී තිබේ. “තව දවසක් හිඳුනු දිය පහරක වැලි ගොඩක් මතින් යද්දි වාහනේ වැල්ලේ එරුණා. ගන්නම බැරි වුණා. එහෙම මොහොතකවත් සංචාරකයන් බිමට බස්සන්නවත් අපට බහින්නවත් අවසර නෑ. වාහනය ඇදලා ගන්න ආධාරකරුවෙකුට කතා කරලා ගමන යන්න බැරිනම් සංචාරකයන් රස්තියාදු නොකර වෙන ජීප් එකකට බාර දෙන්න ඕන. එදා පළමු වතාවට මම බැහැලා අතින් වැලි අයින් කරලා රෝද පාදා ගත්තා. සංචාරක දෙන්නා ලොකු අනුකම්පාවකින් මා ගැන එදා කතා කළේ” “තවත් දවසක වාහනය අසලටම ආපු ඇතෙක් හොඬවැල වාහනය ඇතුළට දැම්මා. වාහනේ හිටපු විදේශීය සංචාරකයා ආදරේට හොඬවැල බදාගත්තා. මම ඉක්මනින් වාහනය ඉදිරියට නොගන්න ඒ ඇතා එයාව ඇදලා ගන්නත් තිබ්බා. එ්ක වුණේ මේ පහුගිය පෙබරවාරියෙ’’ උඩවලවේ ඇය හා සංචාරය කරන්න එන දෙස් විදෙස් කාටත් සමාන සුහද සිතින් සලකන ඈ කුඩා කල සිට තමන්ගේ විනෝදාංශය වූ වාහන පැදවීමම රස්සාව කරගෙන සිටියි. ගැහැනියක වුවද තමන්ට හිතේ ශක්තියත් අවශ්‍ය තරමින් කැපවීමත් වේ නම් කළ නොහැක්කක් නොමැති බව ඈ ක්‍රියාවෙන්ම ඔප්පුකරමින් පෙන්වයි. “ සංචාරකයන් සමග උඩවලවේ සෆාරියක් යාමට යෙදෙන දා උදේ පාන්දර 05ට මම ගෙදරින් බයික් එකේ පිටත් වෙනවා. ඊට පස්සෙ වාහනේ අරගෙන අදාළ හොටෙල් එකට යනවා. මගේ වැඩේ මම හරියට කරනවා.” ප්‍රියංගනි නිල්මිණි කුමාරි උඩවලවේ සෆාරි රියැදුරුවරියක ලෙස වැඩ කරන්නට ආරම්භ කර මේ වසරට වසර 05ක්. ඈ තමන් කරන කාර්යය ගැන සිටින්නේ සතුටින්. උඩවලව ජාතික උද්‍යානයේදී  ඔබත් දිනෙක ඇගේ අභිමානවත් දිලිසෙන දෙනෙත් හමුවී සුන්දර සංචාරයක යෙදී බලන්න. ජයන්ත සුබසිංහ
 

More News..