brand logo

කැලෑ මල සදහටම පරවෙයි

02 January 2019

සිංහල ගීත සාහිත්‍යයේ කැලෑමල් හෙවත් වනමල් උපමාකොට ලියැවුණු ගීත රාශියකි. අපේ ජනකවියාට සහ සංදේශ කාව්‍ය රචකයාටත් වඩා ගීත රචකයන්ට වනමල් නිමිත්තක් වූ බව පෙනෙන්නට තිබේ. මේ ගීත කොපමණ මිහිරි වුවද, අපේ වනමල්වලට අත්වෙමින් යන කල දසාව නම් කොහෙත්ම මිහිරි නැත. ශීඝ්‍රයෙන් වනගහනය අඩුවෙමින් තිබියදී වනමල් ද වඳවී යාමේ තර්ජනයට ලක් වෙමින් පවතී.
කෑල, මහරත් මල්, දියරත්මල් හෙවත් අශෝක, වෙසක්, නාරිලතා, ගුරුළුරාජ, රතු මිහිරිය, බිනර ආදී අපට ආවේණික ඉතා සුන්දර මල් වර්ග රාශියක්ම අද සුලබව දැකිය නොහැකිය. මේ බොහෝමයක්, කැලෑ මල් සංරක්ෂණය කර ගැනීමට සිදුව ඇත්තේ ඒවායේ පැවැත්ම අන්තරායට ලක්ව ඇති නිසාය.
දැනට අවසානයට නිකුත්ව ඇති රතු දත්ත පොතේ සංස්කරණය වන 2012 සංස්කරණයට ශ්‍රී ලංකාවෙන් සංස්කරණ දායකත්වය සැපයූ, මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන පරිදි, මෙරට හමුවන මල් පිපෙන ශාක ගණන 3154 කි. 2012 ට පසු දත්තද සැලකිල්ලට ගත් විට මේ සංඛ්‍යාව 3160 ක් පමණ වේ. ඒ අතරින් අපට ආවේණික ශාක 900 ක් පමණ තිබේ. මෙරට ඇති මල් පිපෙන ශාක 3154 න් 1395 ක් එනම් 44% ක්ම තර්ජනයට ලක්ව ඇතැයි හඳුනාගෙන තිබීම අපේ දැඩි අවධානයට යොමුවිය යුතු කාරණයකි.
ශාක ව්‍යාප්තවීමට නම් පුෂ්ප පරාගණය සිදු විය යුතුය. පරාගණය සිදුවන ක්‍රම වශයෙන් සුළඟ හා සතුන් හඳුනාගෙන තිබේ. ‘‘අපේ රටේ හමුවන ශාකවලින් වැඩි කොටස සතුන්ගෙන් පරාගණය වන ඒවා. මේ කාර්යය වැඩි වශයෙන්ම කරන්නේ මීමැස්සන් හා බඹරුන්. මේ අතරිනුත් බඹරා ප්‍රධානයි. ඒත් දැන් අපි අපට හිරිහැරයක් කියලා බඹර වද පුළුස්සනවා. සමහර තැන්වල බඹර වද කිහිපයක්ම තියෙනවා. හරියට ජනපද වගේ. මේ ජනපදයකට විශාල පරිමාණයේ වනාන්තරයක් පරාගණය පුළුවන්. ශාකවල කොපමණ මල් පිපුණත් ඒවා පල දරන්න නම් පරාගණය විය යුතුමයි. පරාගණය නොවුණොත් මේ ශාක ව්‍යාප්ත වන්නේ කොහොමද?’’
තත්ත්වය එසේ තිබියදී දැන් අපි ගෙවතු අලංකරණයට යොදා ගන්නේද අපේ කැලෑ මල් වර්ග නොවේ. පිටරටින් රැගෙන ආ විසිතුරු ශාකය. ඒවා ඒ රටවලට වනමල් විය හැකි වුවද, අපට වනමල් නොවේ. මේ ඇතැම් ශාක ආක්‍රමණික ශාක වශයෙන්ද හඳුනාගෙන තිබේ. ඒවා මගින් භූමිය වසා ගැනීමද, මීමැස්සන්, බඹරුන් එවැනි ශාකවලට ආකර්ෂණය වීමද අපේ කැලෑ මල්වලට තර්ජනයක් වී පවතී.
‘‘අලංකාර දම් පැහැති හා රෝස පැහැති මල් පිපෙන මෙන්ම ඖෂධීය වටිනාකමක් ද ඇති බෝවිටියා වර්ග කීපයක්ම අපේ වනමල් අතර තිබෙනවා. හීන් බෝවිටියා, මහ බෝවිටියා, වැල් බෝවිටියා, ඉන් කිහිපයක්. මේවා අපේ රටට ආවේණිකයි.’’ බෝවිටියා මල්.. යනුවෙන් සුනිල් ශාන්තයන් ගයන හෙළ ගීය අපට සිහිපත් වේ. ‘‘කඳුකරයේ මස්කෙළිය, සීතාඑළිය, ශ්‍රීපාද අඩවිය වගේ ප්‍රදේශවල දක්නට ලැබෙන රතු මිහිරියත් ඉතා ලස්සන වන මලක්. මේක තේ කුලයට අයිති ශාකයක්. මල නාමලක් තරම් ප්‍රමාණයෙන් යුක්තයි. අපට ආවේණික නැතිනම් ඒකදේශීය රතු මිහිරිය මල් පිපෙන කාලයට ඒ දර්ශනය හරිම සුන්දරයි. සුදු මිහිරිය වගේම නමුණුකුල ප්‍රදේශයෙන් මෑතදී සොයාගත් රෝස මිහිරියත් තවත් මිහිරිය විශේෂ කීපයක්. මේ අතරින් වඩාත් විචිත්‍ර වන්නේ රතුමිහිරිය. කැලෑමල්වල ජාන විවිධත්වය ගැන බලනකොට මෙවැනි ශාක සංරක්ෂණයට වැඩි අවධානයක් යොමු කළ යුතුයි...’’
මර්සලීනු ජයකොඩි පියතුමන් අතින් රචනා වූ වෙසක් කැකුළු ගීතයේ එදා වෙසක් මල් ද අද දුර්ලබය. එය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති උඩවැඩියා විශේෂයක් ලෙස සැලකේ. වෙසක් මල් සීමිත ව්‍යාප්තියක් පෙන්වන වනමල් විශේෂයක්. වෙසක් මල් පිපෙන්නේ බොහෝ විට වෙසක් කාලයේදී. අපට ආවේණික මේ උඩවැඩියා විශේෂය නම් කරලා තියෙන්නේ මැකාති ආණ්ඩුකාරයාගේ ආර්යාවගේ නමින්. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත ශාක 5 න් එකක් වෙසක්. වෙසක් මල් කඩා හැළෙන මල් කිනිත්තක් ලෙස දැකිය හැකිය.
‘‘නඟා මැරූ අල’’ කියන්නෙත් අපේ රටට ආවේණික උඩවැඩියා විශේෂයක්. ඒ වගේම දුර්ලබ වීම නිසා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ රැකගත යුතු බවට ප්‍රකාශ වී ඇති ශාකයක්. මේක බිම් ඕකිඩ් වර්ගයක්. දම් පැහැති මලක් පිපෙන්නේ...’’ අනුරාධපුර ප්‍රදේශයේ දී දැකිය හැකි නිසා අනුරාධපුර ඕකිඩ් යනුවෙන් ප්‍රචලිත ඕකිඩ් විශේෂයද අපට ආවේණිකය. මේ කැලෑ මලද දැන් දැකිය හැක්කේ විරල වශයෙනි. මේවා ‘රැත්ත’ යනුවෙන්ද හඳුන්වයි. ‘‘හෝර්ටන් තැන්න වගේ ප්‍රදේශවල දැකිය හැකි අපේ තවත් සුන්දර කැලෑ මලක්, මහරත්මල්. මේ උප විශේෂය ලංකාවට ආවේණිකයි. මහ රත්මල් පතනෙ හැදෙන ශාකයක්. දැඩි පිනි සහිත තත්ත්වයක් තිබුණත් හොඳ මූල පද්ධතියක් ඇති නිසා මල් විචිත්‍රවත්ව දින කිහිපයක් තිබෙනවා...’’
තවුස්දම් බිඳින්නට තරම් යැයි සැලකෙන නාරිලතා මල ගැන බෙග් මාස්ටර් ගැයූ ගීතය නාරිලතා පුෂ්පේ...ය. ‘‘නාරිලතා කියන්නේ අපට ආවේණික කැලෑ මලක්. දැන් දකින්න ලැබෙන්නේ විරල වශයෙන්. නාරිලතා මලට ඒ නම ලැබෙන්නේම එහි හැඩය නාරි දේහයක් බඳු නිසා...’’
අපේ අලංකාර වනමලක් වන බිනර මලට සිදු වූ හරිය දැන් බොහෝ දෙනා දනිති. බිනර මලේ පේටන්ට් අයිතියද දැන් ඇත්තේ පිටරටවලටය.
‘‘මේවා රටින් පිට කළහ. උප විශේෂ කීපයක ජාන එකතු කරලා හදපු අලංකාර බිනර මලක් රටවල් කිහිපයක තියෙනවා. බිනර මලේ පැහැය තැනින් තැනට වෙනස් වෙනවා. සමහර විශේෂ ඉතාම විරල වශයෙන් දකින්න තියෙන්නේ. එවැනි සීමිත ප්‍රදේශයක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ වෙලා ඒ ප්‍රදේශය විනාශ වුණොත් ලෝකයටම ඒ බිනර විශේෂයත් අහිමි වෙනවා...’’ අප තවමත් හඳුනාගෙන නැති කැලෑ මලුත් තිබේ.
පසුගිය වසර 5-6 තුළ අලුත් විශේෂ 8 ක් පමණ හඳුනා ගත්තා. ගවේෂණයේ යෙදෙද්දී මේ වගේ අලුත් ශාක හා සත්ත්ව විශේෂ හමුවෙනවා. ඒ සඳහා විධිමත් ගවේෂණවල යෙදිය යුතුයි. ලංකාව ඉන්දු සයුරේ මුතු ඇටය බව කියති. ‘‘ලෝකයේ උතුම් රට ලංකාවයි’’ යනුවෙන් ගැයූ ගීතද තිබේ. මේ විශේෂත්වය උතුම් බව නිකම්ම ඇති වූවක් නොවේ. හැමදාමත් කියන නිසා අපි ඒ වාක්‍ය පුරුද්දට මෙන් උච්චාරණය කරමු. එහෙත්, තරමක් ගැඹුරින් කල්පනා කළ විට පෙනෙන්නේ අපේ රට ලොව ඉතා මනරම් දිවයිනක් බවයි. ඒ මනරම් බව ඇති කිරීමට අපේ අතිශය පුළුල් ජෛව විවිධත්වයද නිතැතින්ම බලපා තිබේ. මේ කුඩා දිවයිනේ එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කරන විට පැය කිහිපයක් තුළ විවිධ දේශගුණික හා පාරිසරික තත්ත්ව අත්විඳිය හැකිය. විදේශීය ජාතිකයන් මෙරට සංචාරයට ප්‍රිය කිරීමට එයද ප්‍රබල සාධකයකි. මෙකී විවිධත්වය කැලෑ මල්වල අතිශය විසිතුරු විවිධත්වයටද බලපා ඇත.
‘‘භූමිය අතින් ඉතා කුඩා වුණත් ලෝකයේ ඇති මල් පිපෙන ශාක කුලවලින් 50% ක් පමණ, ලෝකයේම ඇති ශාක ගෝත්‍රවලින් 80% ක් විතර මේ පුංචි දිවයිනේ දකින්න පුළුවන්. වෙනත් රටවලදී විශාල භූමි ප්‍රදේශයක පවා බෙහෝ විට හමුවෙන්නේ එකම කුලයක නැතිනම් එකම ගණයක ශාක. නමුත්, අපේ තත්ත්වය ඊට හුඟක් වෙනස්. ඉතා කුඩා භූමි ප්‍රදේශයක ගෝත්‍ර ගණනාවක, කුල ගණනාවක ශාක හමුවෙනවා. මේ හේතුව නිසා අපේ රටේ කුඩා භූමි ප්‍රදේශයක වනාන්තර එළිපෙහෙළි කරනවා කියන්නේ ශාක කුල, ගෝත්‍ර හා විශේෂ ගණනාවක් විනාශ වෙනවා කියන එකයි. ඒත් තවමත් අපි මේ ගැන කල්පනා කරන බවක් පෙනෙන්න නෑ. ආසියාවේම ඒකක වර්ගඵලයක වැඩිම විවිධත්වය තියෙන්නේ ලංකාවේ...’’
භූගෝලීයව අපේ රට නිර්මාණය වී ඇති ආකාරයද මේ කතාවට සම්බන්ධය. එම භූගෝලීය විෂමතා ශාක ලෝකයට බලපා ඇති බැවිනි. ‘‘භූගෝලීය විද්‍යාවේ මහාද්වීප ප්ලාවකවාදය‘ ගැන සඳහන් වෙනවා. අවුරුදු මිලියන ගණනකට කලින් ලෝකයේ මහාද්වීප වෙන්වෙලා තිබුණේ නෑ. ඉන්දියාවත්, ලංකාවත් සම්බන්ධව තිබුණේ. අවස්ථා කීපයකදීම ලංකාව ඉන්දියානු උප මහාද්වීපයෙන් වෙන් වුණා. වරින්වර ගිලා බසිමින්, යළි මතුවෙමින් මේක කිහිප වාරයක්ම සිදු වුණා. ආදම්ගේ පාලම ඊට ඉතිරිව අැති සලකුණක්. මේ විදියට වෙන් වුණායින් පසුව අපට ආවේණික අලුත් ශාක විශේෂ ඇති වුණා. සම්බන්ධව තිබීම නිසා අප්‍රිකාව, ආසියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල තියෙන ශාකවල ලක්ෂණ  තියෙන ශාකත් අපේ රටේ තියෙනවා. ලංකාව වෙන් වුණායින් පස්සේ යමහල් ක්‍රියාකාරිත්වය වැනි ක්‍රියාවලියකින් මැද කොටස ඉහළට එසවුණා.
එය මධ්‍ය කඳුකරය, ලංකාවේ හරස් කඩ හරියට කොණ්ඩ කැවුමක් දෙකට කැපුවාම වගේ පෙනෙන්නේ. ඊසාන දිගින් ජල වාෂ්පත් සමග හමන සුළඟ මධ්‍ය කඳුකරය නිසා ඉහළට එසැවී වැස්ස ලෙස බිමට පතිත වෙනවා. වියළි කලාපයට වැඩියෙන් ලැබෙන්නේ මේ වැස්ස. නිරිත දිගින් හමන ජලවාෂ්ප සහිත සුළඟත් මධ්‍ය කඳුකරය නිසා ඉහළට එසැවී වැස්ස ලෙස බිමට පතිත වෙනවා. අපේ මධ්‍ය කඳුකරය නැංගුරමක හැඩයක් තියෙන්නේ. නකල්ස්, නමුණුකුල, ශ්‍රීපාද වගේ කඳුවැටි ඒ හැඩය තුළ පිහිටනවා. මේ පිහිටීම නිසා නිරිත දිග කලාපයට මෝසම් සුළං දෙකෙන්ම වැසි ලැබෙනවා.
ඒ තෙත් කලාපය. මේ ප්‍රධාන දේශගුණ කලාප 2 ටම අතරමැදි කලාපයක් තියෙනවා. මධ්‍ය කඳුකරයේ සිට ගංගාවල් 103 ක් ගලා බසිනවා. මේවා රටේ සෑම තැනකටම ගලා බසිනවා. තවමත් ලංකාව ගුවනේ සිට බලද්දී හරිත පැහැයෙන් පෙනෙන රටක්. ඒක හරිම සුන්දර දසුනක්. මේ විවිධ භූ විෂමතා නිසා, දේශගුණික තත්ත්ව නිසා ලංකාවේ ශාක විවිධත්වය පුදුම විදිහට විශාලයි. මේ වන විට අපේ ජෛව විවිධත්වය තර්ජනයට ලක්ව ඇති නිසා උණුසුම් තැනක් (Hot Spot) වෙලා තියෙන්නේ. ඒකෙ තේරුම අපි දැඩි අවධානයකින් කටයුතු කළ බවයි. එසේ නොවුණොත් මේ මනරම් විවිධත්වය අපට අහිමි වෙනවා...’’
අපේ කැලෑ මලේ කතාව ඒ තරම් අමිහිරි විය යුතුද? අපි නොපමාව තීරණය කළ යුතු වෙමු.
ධම්මික සෙනෙවිරත්න 
 

More News..