brand logo

කැලණි කේබල්ස් නැවත සම්මානයෙන් පිදුම් ලබයි!

08 December 2019

කැලණි කේබල්ස් ආයතනයට නොබෝදා හිමි වූ අන්තර්ජාතික සම්මානයක් වන Global Performance Excellence සහ SLIM සම්මාන පිළිබඳව අදහස් දැක්වූ එම ආයතනයේ අධ්‍යක්ෂ - ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සමරපාල කියා සිටියේ සේවකයන් දොළොස් දෙනකු සමග ඇරඹූ මෙම ආයතනය අද වන විට ලොව පිළිගත් ආයතනයක් බවට පත් වීමේ රහස සියයට සියයක් නිවැරදි තාක්ෂණය සහ නිසි කළමනාකාරිත්වය සමගින් ව්‍යාපාරය මෙහෙයවීම බවයි. 01. කැලණි කේබල්ස් ආයතනයේ ආරම්භයේ සිට මේ දක්වා කාලය පිළිබඳ අදහසක් දක්වන්න පුළුවන්ද? අපේ ආයතනය ආරම්භ කරන්නේ වර්ෂ 1969 දී. දැන් අපි වසර 50කට අධික කාලයක් මේ ව්‍යාපාරයේ නියැළී සිටිනවා. කෙමෙන් කෙමෙන් තාක්ෂණිකවත්, ව්‍යාපාරයට සිදු කරන ආයෝජන හරහා වගේම ආයතනයේ සේවයේ නියුතු සේවක පිරිසගේ දැනුම හා කුසලතා ඔප් නංවමින් අපි ස්ථාවර ගමනක් යමින් සිටිනවා. එය වචනයේ පරිසමාප්ත ආර්ථයෙන්ම ස්ථාවර ගමනක්. 02. මෑතකදී ඔබට ලැබුණු SLIM සම්මානය කුමක්ද? ලෝක මට්ටමේ ඉහළම පිළිගැනීම් ලද ආයතනයක් විදියට දේශීය සම්මානයක් ලැබීමේ වටිනාකම අපි හොඳින් දන්නවා. ඒ නිසාම මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලෙ B2B, එහෙම නැත්නම් ව්‍යාපාරයෙන් කෙළින්ම ව්‍යාපාරයට කියන අංශයේ රන් සම්මානය දිනා ගැනීම පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙනවා. අදාළ කාණ්ඩයේ මෙරට සිටින පුමුඛතම ආයතන අතරින් රන් සම්මානය දිනා ගැනීම අපේ ආයතනයේ කැලණි වෙළෙඳ නාමයේ ප්‍රමිතිය නැවත තහවුරු කිරීමක්. ඒ සමඟම CSR Brand අංශයේ ලෝකඩ සම්මානය අපි දිනාගත්තා. 03. ඔබේ ආයතනයේ ඉදිරි සැලසුම් මොනවාද? කැලණි කේබල්ස් අපි ඉදිරි වසර ගණනාවකට ඉදිරියට තියෙන ලෝකයට සූදානම් වෙලා ඉන්නේ. ලංකාවේ නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත සියලුම මහා පරිමාණ ඉදිකිරීම් සඳහා අවශ්‍ය පහසුකම් සහ උපාංග සපයන්න ආයතනයක් විදියට අපි සූදානම්. අපේ වෙළෙඳපොළට චීනයට, ඉන්දියාවට ඇතුළු වෙන්න නොදී අපේ රටේ ආයෝජනය කරන මුදල් අපේ රටේම තියා ගැනීමටයි ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. 04. ඔබේ නිෂ්පාදන මිලදී ගන්නා ගෘහස්ත පාරිභෝගිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද? ඕනෑම ඉදිකිරීමක් කොතනින් අතපසු වීමක් සිදු වුණත් හදන්න පුළුවන්. උදාහරණයක් විදියට නිවසක ජල කාන්දුවක් ඇති වුවහොත් බිත්තියේ දිය සීරාවකින් එය පෙන්නුම් කරනවා. නමුත් විදුලිය මගින් වරදක් වුණොත් එය අවසාන වෙන්නෙ බොහෝ දුරට විශාල විනාශයක් වෙලා. ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඉහළම වෘත්තියම තලයේ විදුලි ඉංජිනේරුවන් සහ විශේෂඥයන් (Project Consultant) මහා පරිමාණ ව්‍යාපෘති සඳහා සෑම මොහොතකම කැලණි කේබල්ස් අනුමත කරන්නේ අපේ ප්‍රමිතිය ඉතාම ඉහළ නිසායි. අපේ නිෂ්පාදන අපි නිපදවන්නේ තරගකාරිත්වය ඉතාම ඉහළ අනෙක් රටවල නිෂ්පාදනවලට නොදෙවෙනි ආකාරයටයි. ඒ නිසා සුළු මුදලකට ලාබය වෙනුවෙන් ජීවිතය ගැන අඩු තක්සේරු කරන්න එපා කියන එකයි අපේ පණිවිඩය. අන්න ඒ නිසයි අපි කියන්නේ තත්ත්වයෙන් උසස් ප්‍රමිතියෙන් ඉහළ කැලණි නිෂ්පාදන සෑම මොහොතකම මිලදී ගන්න කියලා. 05. ඔබේ ආයතනය සමාජ උන්නතියට අදාළව බොහෝ ව්‍යාපෘති කරනවා? ලෝකේ උසස් ජීවන මට්ටම් පවත්වාගෙන යන රටවල පිළිගත් සම්මතය තමයි රටක සිදුවන විදුලි අනතුරුවලින් මිය යා හැක්කේ මිලියනයක් අතරින් කෙනකු විය යුතු බවයි. කියන්න කනගාටුයි අපේ රටේ එය මරණ සියයක ආසන්නයි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ රටේ ඉන්න විදුලි කාර්මික ශිල්පීන්ට නිසි පුහුණුවක් නොලැබීම. අන්න ඒ නිසාම අපි පේරාදෙණිය සහ කිලිනොච්චි ඉංජිනේරු පීඨ සමඟ සහයෝගයෙන් කැලණි සවිය සහ කැලණි ශක්ති කියන ව්‍යාපෘති දෙක දියත් කළා. ඒ මඟින් ඉංජිනේරු පීඨයේ ආචාර්යවරු සමඟම විදුලි කාර්මික පුහුණු ලබා දෙනවා. ඒ මඟින් අපි දැනට හාරදහසකට අධික පිරිසක් පුහුණු කොට අවසන්.
 

More News..