brand logo

කැලණියේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි

09 July 2019

කැලණිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉංජිනේරුවෙකු විසින් පවත්වාගෙන ගිය ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වැටලීමෙන් අනතරුව එම ව්‍යාජ ඖෂධ බෙදාහැර ඇති ඖෂධ සැල් සොයා හෙට (10) සිට මෙහෙයුමක් ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි. මෙම මහා පරිමාණ ව්‍යාජ ඖෂධාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් අද වටලනු ලැබීය. මෙම ස්ථානයේ තිබී රුපියල් කෝටි දෙකක පමණ ව්‍යාජ ඖෂධ අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. මෙම ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරය කැළණිය ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගොස් ඇත. මෙම ඉංජිනේරුවාට ඖෂධ වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීම සදහා 2013 වසර දක්වා බලපත්‍ර නිකුත් කර තිබී ඇති අතර, පසුව එය අහෝසි කර තිබේ. ඉන් අනතුරුව මොහු මෙම ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇත. ප්‍රමිතියෙන් තොර සහ කල් ඉකුත් වූ ඖෂධ මෙම පුද්ගලයා දිවයින පුරා ඖෂධ සැල් වලට බෙදාහැර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය. ඇතැම් ව්‍යාජ ඖෂධ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ඒවා බවට ව්‍යාජ ඇසුරුම් සකසා දිවයින පුරා බෙදා හැර තිබේ. වේදනා නාශක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, කාය වර්ධන කිරිපිටි වර්ග, විටමින් වර්ග ඇතුළු ඖෂධ රැසක් මෙම ඖෂධ නිෂ්පාදනාගාරයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශන කටයුතු අවසන්වීමෙන් පසු ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයේ හිමිකරු අධිකරණයට ඉදිරිපත් කරන බවද අමිත් පෙරේරා මහතා කීවේය. සාලිය කුමාර ගුණසේකර
 

More News..