brand logo

කැබිනට් එකෙන් සබීතාට කැපිල්ලක්

23 December 2019

ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමේදී කතාවට බහට ගැනුණු කරුණු කාරණා අතර ‘සබීතාගේ ගොඩනැගිල්ල ගැන කතාව’ ටිකක් වේලා දිග්ගැස්සුණු කතාවක් විය. ඇමතිවරුන් එක් එක්කෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වමින් පැවසුවේ, එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනමට ලබාගත් ආකාරයත්, කෘෂිකර්ම අමාත්‍යංශය කලින් පැවැති ‘ගොවිජන මන්දිරයට’ වූ සන්තෑසිය ගැනත් ය. ‘‘ගොවිජන මන්දිරය ආංශික අධීක්ෂණ කාරක සභා වලට ගන්නවා කියල තමයි කෘෂිකර්ම අමාත්‍යංශය ඔය කියන රාජගිරියෙ සබීතගෙ බිල්ඩිමට අරං ගියේ...’’ ‘‘මාසෙකට කුලිය රුපියල් මිලියන 21 යි...’’ ‘‘අන්තිමට එළවළු පලතුරු වවලා හොඳට තිබුණු ගොවිජන මන්දිරෙන් වැඩක් ගත්තෙත් නෑ... ආංශික කාරක සභා එහේ තිබ්බෙත් නෑ...’’ මේ ආකාරයට ඇදී ගිය කතාවේ අවසානය වූයේ, කෘෂිකර්ම අමාත්‍යංශය නැවත ගොවිජන මන්දිරය වෙත ගෙන යාමට කැබිනට් අනුමැතියක් ලැබීම ය. ඒ අනුව නුදුරු අනාගතයේදීම එම කැබිනට් තීරණය ක්‍රියාවට නැංවෙනු ඇති අතර එය වක්‍රාකාරයෙන් සබීතා පෙරේරා මහත්මියට ‘මහත් පාඩුවක්’ වනවාට නම් කිසිදු සැකයක් නැත. මේ ආකාරයට කෘෂිකර්ම අමාත්‍යංශය නැවතත් ගොවිජන මන්දිරයට ගෙන යාමෙන් පාඩු වන්නේ ‘සබීතා පෙරේරාට’ පමණක් නොවීමත් තවත් කතාවකි. ‘අනෙකුත් පාඩු ලබන්නෝ’ වන්නේ සෙත්සිරිපායේ නිලධාරීන් සහ නිලධාරිනියන් ය. මන්ද පාළුවට ගිය ගොවිජන මන්දිරයේ සශ්‍රීක ගෙවත්තේ දැනට පළතුරු, එළවළු නෙළන්නේ ඔවුන් වන නිසාය.
 

More News..