brand logo

කැකිරාව පල්ලෙකාගම ප්‍රදේශයේ කුරුළු ජාවාරමක්

19 April 2019

ගුලිපෙත්තාව ගොවි ගම්මානයකි. කැකිරාවේ ඉපලෝගම පල්ලෙකාගම වූ මේ ගමේ බොහෝ දෙනකුගේ ජීවිකාව වන්නේ හේන් ගොවිතැන හා කුඹුරු ගොවිතැනයි. අව්වට, වැස්සට, නියඟෙට අහුවුණත් ඒ මිනිසුන් සමස්තයකගේ හිත් පිනට දහමට ලැදිය. ඒ නැතත් කැලයත් සමග මිතුරුව වෙසෙන ඔවුන් විශේෂයෙන් සතුන්ට ද අනුකම්පා කරන්නෝය. ගුලිපෙත්තාවේ බොහෝ දෙනෙක් එසේ වුවත් මේ ගමේ එක් පවුලක් පමණක් මේ සියල්ලන්ටම වඩා වෙනස් ජීවන වෘත්තීන් දෙකක් කරගෙන යන්නේය. ගමටම නොරුස්සන ඒ පවුලේ ජීවිකාව ධාර්මික මුදල් ඉපයීමක් නම් නොවේ. ‘‘කසිප්පු පෙර පෙර ගමටම පොවනවා. මනුස්සයා ගෙදර නැතත් ගෑනු කෙනා බිස්නස් එක කරනවා. ඒ මදිවට මේ ගහේ කොලේ ඉන්න අහිංසක කුරුල්ලෝ සිය ගණන් අල්ලලා කූඩුවල දාගෙන දාස් ගණන්වලට විකුණනවා.’’ ඒ පවුලේ වාත්තීය ගැන තොරුතරු ලැබුණේ එහෙමය. ලැබුණු තොරතුරුවලට අනුව එහි නිරන්තරවම මිනිසුන් යන එන ගැවසෙන තැනකි. ඒ නිසා කිසියම් අවශ්‍යතාවක් හදාගෙන ඒ ගෙදරට ගොස් ඇත්ත නැත්ත හොයන්නට සිතුවෙමි. කසිප්පු ජාවාරම ගමක සාමාන්‍යයෙන් තිබුණද, කුරුළු ජාවාරමක් වන් හිංසාකාරී දෙයක් කරන්නට මිනිස්සුන්ට නීතියෙන්ද තහනම්ය. එකී නිවෙසේ වූයේ උස මහත හැඩිදැඩි කාන්තාවකි. ඇය මගේ පැමිණීම ප්‍රශ්න කළාය. ‘‘මම දුර ඉඳලා ආවේ කපු මහත්තයෙක් දුන්න හෝඩුවාවකට. මගේ යාළුවෙක් ළඟදී හිරේ ගියා. එයා ඉක්මනට නිදහස් කරගන්න නම් කුරුල්ලෝ ටිකක් නිදහස් කරන්න කියලා ඒ කපු මහත්තයා කිව්වා. එයා ළඟ හිටපු ගෝලයො තමයි කිව්වේ මෙහේ කුරුල්ලෝ ගන්න ඉන්නවා කියලා.’’ එකී කාන්තාවගේ සැඬපරුෂ ස්වභාවය මැකී ගියෝය. දෙතොල යාන්තමින් මඳ සිනා ඇඳුනේය. මා කී දෙය විශ්වාස කළ ඇය මට අසුන් ගන්නා ලෙසත් කීවේය. තවත් මඳ වේලාවක් කතා කරද්දී මට කුරුල්ලන් බලන්නට වුවමනා බවත්, ඇයට කීවෙමි. ඒ අනුව ඈ මාව නිවසේ කුස්සිය පැත්තට කැටුව ගියාය. මගේ හිතට දැනුණේ විසල් වූ ශෝකයකි. කූඩුවල සිරවූ විවිධාකාර කුරුල්ලන් එතැන සිරවීමට අකැමැත්තෙන් සේ කෑ ගසමින් සිටියහ. උන් අතරේ වී කුරුල්ලෝ සැලලිහිණියෝ, ගිරව්, පරෙවියෝ, වැනි කුරුල්ලන් සිටියහ. ‘‘කුරුල්ලෝ කීයක් ගන්නවාද?’’ ඇය ඇසුවාය. ‘‘මට දාහතරක් ගන්න කියලා කීවේ. ගාන කොහොමද?’’ ඇය දුරකථනය අතට ගෙන කිසිවකුට හෝ ඇමතුමක් ගත්තාය. ‘‘අයිතිකාරයා එනකල් ඉන්න වෙනවා.’’ ඇය ඒ ඇමතුම අවසන් කර කීවාය. මම ඔහු එනතුරු සිටින්නට හිතුවේ තවත් තොරතුරු එක් රැස් කර ගන්නා සිතුවිල්ලෙනි. ‘‘අයිතිකාරයා එන්න තව වෙලා යනවා. දැන් කුරුල්ලෝ ගන්නවද?’’ ඇය තවත් වේලාවකින් පැමිණ කීවාය. එ්කත් හොඳයි කියා මට සිතුණි. ‘‘මට කුරුල්ලෝ ගෙනියන්න කූඩුවක් ගේන්න බැරි වුණා. කූඩුවකුයි, සල්ලියි අරන් එහෙනම් හෙට එන්නම්.’’ ඒ මුවාවෙන් මම එතැනින් පැන ගත්තෙමි. ආපසු එන ගමනේදී ඔවුන්ගේ කුරුළු ජාවාරමේ තවත් තොරතුරු මට ගමේ මිනිසුන්ගෙන් ලැබුණේය. මේ කුරුල්ලන්ගේ මිල ගණන් දෙආකාරය. නිවසට පැමිණ කුරුල්ලන් මිලදී ගන්නේ නම් වෙනම මිලක් ඇත්තේය. ඒ වී කුරුල්ලන් ජෝඩුවක් රුපියල් 150 කි. ගිරවුන් ජෝඩුවක් රුපියල් 1500 ක්, 2000 ත් අතරේ මිලකට විකිණෙයි. සැලලිහිණි ජෝඩුවක් රුපියල් 1000 ත්, 1500 ත් අතර මිලකි. පරෙවි ජෝඩුවක මිල වන්නේ රුපියල් දහසත්, එක්දහස් පන්සීයයත් අතර ගණනකටය. මේ කුරුල්ලන් මොවුන් විසින් ප්‍රදේශයෙන් පිටතට ගෙන ගොස් ද විකුණනු ලබයි. එවිට මිල ගණන් තවත් වෙනස්ය. එවිට වී කුරුලු ජෝඩුවක් රුපියල් 500 ක්ද, ගිරව් ජෝඩුවක් රුපියල් 3000 ත්, 4000 ත් අතරේ ගණනකටද විකිණෙන බව කියයි. ‘‘ඔය මිනිස්සු පොඩි කූඩුවක කුරුල්ලෝ 300 ක් විතර දානවා. සමහර කුරුල්ලෝ තෙරපිලාම මැරිලා යනවා. මේ මිනිස්සු ළඟ ඉන්නවා හීලෑ කරපු කුරුල්ලෝ. ඒ අයගේ උදව්වෙන් තමයි මුන් දැල් දාලා කුරුල්ලෝ අල්ලන්නෙ. කුඹුරුවල ගොයම් කැපෙන කාලෙට ඔය වී කුරුල්ලෝ එහෙම අහුවෙනවා අඩුයි. කුඹුරු පැහෙන කාලෙට වී කන්න එන කුරුල්ලෝ මුන් අල්ලනවා. මේක අවුරුද්ද පුරාම සිද්ධ වෙන වැඩක්. මේක හරි පව්කාර වැඩක්. අනෙක් පැත්තෙන් කුරුල්ලෝ නැති වෙනවා.’’ එසේ ගමේ කුරුල්ලන් නැති වුණ කල්හි මොවුන් තවත් පැතිවලට ගොස් කුරුල්ලන් අල්ලන බව කීවේත් මේ තොරතුරු ලබා දුන් අයමය. ඒ අනුව පල්ලෙකාගම, දම්බැලැස්සාගම, මරදන්කඩවල, කාගම, පහළ වෙම්බුව, ඉපලෝගම, ගොනපතිරාව, ගෝනපුර පැතිවලින්ද ඔවුන් විකුණන්නට කුරුල්ලන් අල්ලාගෙන එති. ගමේ මිනිස්සු මොවුන්ගේ මේ කුරුළු ජාවාරමට අකැමැති වුවත් ඒ සඳහා විරෝධයක් දක්වන්නටත් බියෙන් පසුවෙති. ඒ මොවුන්ගේ පවතින මැර බලය නිසාය. වරක් වනජීවී නිලධාරින්ට මේ අකටයුත්ත දැන්වීමෙන් පසු මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ අතර කුරුළු ජාවාරමත් නැවතී තිබී ඇත. ඒත් නැවතත් ඒ පව්කාර වැඩේ ඔවුන් පටන්ගෙන ඇත. කැලේ කුරුල්ලන් මේ ලෙස අල්ලා, හිංසාකාරී ලෙස කූඩුවල රඳවා විකිණිය හැකිද කියා අප ඇහුවේ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතාගෙනි. ‘‘වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වනජීවීන් හැම කෙනෙකුටම වෙළෙඳාම් කිරීම තහනම්. මෙහිදී ආරක්ෂිත පක්ෂීන්, ආරක්ෂිත නොවන පක්ෂීන් කියලා අදහස් වෙන්නේ නෑ. පක්ෂීන් වර්ග කීපයක් ආරක්ෂිත නොවන තත්ත්වයට පත් කරලා තියෙන්නේ ගොවීන්ට පළිභෝදකයන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න මිසක් ඒ සත්තුන් වෙළෙඳාමට ඉඩ දීලා නෙවෙයි. මේ විදිහට කුරුල්ලන් කොතැනදී වුණත් කූඩු කරලා විකුණනවා නම් 1992 කියන අංකයට කතා කරලා අපට දැනුම් දෙන්න. අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා.’’ එසේ නම් ගුලිපෙත්තාව ගමේ ඔබටත්, මගතොට මේ අයුරින්ම සත්තු කූඩු කොටගෙන විකුණන මිනිසුන් දකින ඔබටත් වනජීවී දෙපාර්තමේන්තුවේ 1992 කියන අංකයට ඒ බැව් දැනුම් දෙන්නට පුළුවන. එවිට මෙවන් කුරුළු ජාවාරම් නවතා අහිංසක සතුනට නිදැල්ලේ පියාසර කරන්නට ඉඩ හසර සලසා දෙන්නට පුළුවන. තඹුත්තේගම ඩී. කේ. කීර්තිසිංහ  
 

More News..