brand logo

ගමේ රහට කාලා බලං....

19 August 2018

සංකර කොළඹ රටේ අපේ ජීවිතේ කොහොම ගත කලත් බඩේ ගින්දරට අපි හොයන්නෙ කටේ රහට සප්පායම් වෙන්න පුළුවන් තැනක්. ගමේ රහට ගමේ කෑම කියලා අනන්තවත් කෑම කඩ තිබුණත් ඒ වලින් අපට ලැබෙන්නෙ තුනපහ ටිකක් එහා මෙහා කරපු රතු බතක් විතරයි. අපි මේ කියන්න යන්නෙ කෑම විතරක්ම නෙමෙයි කෑම ගන්න වාඩිවෙන තැනෙ ඉදන් ගමේ විදියටම හදාපු අපූරු අවන්හලක් ගැන. ගමේ ආරකට පොල්අතු සෙවිලි කල අවන්හලකදි අතුල්පතකට නෙලුම් කොලයක් තියලා කැකුලු බත් කටක් කන්න තියෙනවනම් කොයිතරම් අපූරුද. ගිනි ගහන මද්දහනක බඩේ ගින්නට ගමෙ දුවලා අම්මගෙන් බත් කටක් කාලා එන්න කොළඹ රටේ උදේ හවා එහෙ මෙහේ දුවන අපට කොයින්ද වෙලාවක්. එහෙව් අපට ගමේ මහ ගෙදර ගියා වගේ රසට කෑමක් කන්න කියාපු තැනක් තමයි මේ.. මේ වගේ සුපුරුදු අත්දැකීමක් නැවුම් විදියට කොළඹ අපට ලබාදෙන්න හදන මේ අපූරු කෑම කඩේ නම "කාලා බලං".නමත් ගමේ හැඩේටම ගැලපෙනවා.ගමේ හුරුව තව තවත් සමීප කරන්න තමයි මේ වගේ නමක් දාලා තියෙන්නෙ. ගමේ අපි නගරෙට ආවට අපේ කතාබහේ ලොකු වෙනසක් වෙන්නෙ නැහැනෙ. මොන පන්නයට අපි ජිවත් උනත් අන්න ඒ අපේ ගමේ කතාවට නිතැතින්ම අපි ඇදිලා යනවා. සමහරවිට ඒ නිසා වෙන්න ඇති මේ නමත් මේ විදියට නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම පෙළට හිටං, කාලා බලං, වැනි හිතවත් වැකි ලියපු පුවරුද තැනින් තැන සවිකරලා තියෙනවා මේ අවන්හලෙදි දැකගන්න පුලුවන් වෙනාවා අපට. මේ නිසා තව තවත් කුළුපඟ වී ආහාර ගන්න පහසු තැනක බවට කාලා බලං පත්වෙනවා. කාලා බලං එකෙන් ඔයාට ගන්න පුළුවන් වෙන්නෙ දහවල් කෑම විතරයි තවම. උදෑසන 11 ඉදන් සවස 4 වෙනකම් කාලා බලං ඒකට යන්න ඔයාට පුළුවන්. මේ අවන්හලෙන් ශ්‍රී ලංකානු කෑම විතරක් ලැබෙන අතර ව්‍යංජන වර්ග 25 ක් විතර දහවල් කෑම වේලට ඇතුලත් වෙනවා. ඒ වගෙම ගමේ කෑම වේලකට නැතුවම බැරි පොල් සම්බෝලෙත් දිනපතා කෑම වේලට එකතු කරලා තියෙනවා කාලා බලං එකේ. ඉතින් ඔබට බටහිර පන්නය සමග මුසු නොවුනු නැවුම් ගමේ ආහාර වේලක් රස විඳින්න කාලා බලං එකෙන් පුළුවන් .
 

More News..