brand logo

කාලගුණයෙන් රතු නිවේදනයක් - මිලි මිටර් 150 ට වැඩි තද වැසි

06 September 2020

දැනට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපා තිබෙන වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 150 ට වැඩි තද වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වැසි සහිත කාලගුණ තත්වය සහ සුළගේ තත්වය හේතුවෙන් ගාල්ල උණවටුන බොනිවිස්ටා ප්‍රදේශයේ ගසක් කඩාවැටී 59 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත. ඊයේ (05) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් කළුතර පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව කෙලින්කන්ද ප්‍රධාන මාර්ගයට පහළින් පිහිටි ප්‍රපාතයට විශාල ගලක් පෙරළී ඇති බව වාර්තාවේ. තවද පවතින අවදානම් තත්ත්වය හමුවේ ප්‍රදේශයේ පවුල් 13කට අයත් පුද්ගලයින් 50ක් මේ වන විට කොස්ගුලන විහාරස්ථානයේ රඳවා සිටින බව පාලින්දනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. එමෙන්ම ගාල්ල දෙවැට ප්‍රදේශය හරහා අද දහවල් හමාගිය දැඩි සුළඟින් ධීවර වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුවී ඇත. මෙම කාලගුණික තත්වය යටතේ ස්ථාන කිහිපයකම ජලගැලීම් වාර්තා වූ අතර බදුල්ලට ඇදහැලුණු අධික වර්ෂාව නිසා හාලිඇල කන්දෙගෙදර මාර්ගය ජලයෙන් යට වුවා. දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (07) දහවල් 12 වනතුරු කුඩා සහ එක්දින ධීවර යාත්‍රා මුහුදට යාත්‍රා කරවීමෙන් වළකින ලෙස ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී ඇත. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24 තුළදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරණ බවයි.
 

More News..