brand logo

කාර් මිල ප්ලේන් වලටත් වඩා උඩ යයි වගේ

17 October 2020

පාරකට බැස්සොත් කොවිඩ් බයට පාරේ සෙනගත් නැත. හෝටලේකට ගිහින් බිස්නස් කොහොමදැයි ඇහුවොත් කියන්නේ ‘‘අයියෝ මහත්තයා, බිස්නස් අන්තිමයි. හෝටලේ කුලිය ගෙවන්නත් මදි’’ යි කියාය. ත්‍රීවීලරයකට නැග හයර් තිබේදැයි ඇසුවොත් කියන්නේ ‘‘හයර් නෑ මහත්තයා. ෆිනෑන්ස් ගෙවන්නත් ආදායම මදි. අපි අවුරුදු 20ක් කරපු දන්න එකම රස්සාව. තව ටික දවසක් බලලා සිකියුරිටි ජොබ් එකක්වත් කරන්නට හිතං ඉන්නේ’’ කියාය. මේ හැම තැනකින්ම ඇසෙන්නේ අඳෝනාවන්ය. ඒ කියන්නේ කොරෝනාව නිසා මුළු රටටම වැලේ වැල් නැති තත්ත්වයකි. ඒත් ඉතින් ලංකාවේ මේ කාලේ ඔය මොන ප්‍රශ්න තිබුණත් දිනෙන් දින ඉල්ලුම වැඩිවන නිසා මිල ගණන් අහස උසට යන භාණ්ඩයක් ඇත. ඒ අන් කිසිවක් නොව වාහන මිලය. ලංකාවේ මේ වාහන මිල හිතාගත නොහැකි ලෙස ඉහළ යාමේ තත්ත්වයෙන් ටිකක් හෝ මිදී ඇත්තේ ලොරි හා බස් රථවල මිල ගණන්ය. කොහොමත් ලංකාවේ හම්බ කරන වාහනවල මිල ගණන් අඩුය. ලොරි, බස්, ට්‍රැක්ටර් වැනි වාහන ගැනෙන්නේ මුදලක් උපයාගත හැකි වාහන ලෙසය. කාර් සහ ජීප් වැනි සුඛෝපභෝගී වාහන ගත් විට සාක්කුවටත් නොදැනී සාක්කුවේ ඇති මොනරු නොහොත් දාහේ ​කොළ ටික රූටා යන්නේ පුදුමාකාර ලෙසය. දැන් මෙරටට වාහන ආනයනය තහනම් කටයුත්තකි. දැන් අලුතින් වාහනයක් ගන්න නම් වාහන අංගණයක ඉතිරිව ඇති අන්රෙජිස්ටර්ඩ් වාහනයක් විය යුතුය. ඒත් නැත්නම් රේගුවේ හිරවී තිබී ප්‍රමාදව නිදහස් කරගත් වාහනයක් විය යුතුය. දැන් වාහන සේල්වල ඇති අන්රෙජිස්ටර් වාහනවලට කියන ගණන් ඇහුවොත් ජපනා වාහන හදන එකත් නවත්වනු ඇත්තේ ජපානයේ තම කර්මාන්තශාලාවෙන් එළියට ගත් වාහනය ජපානයේ මිල කළ මිල වගේ හතර පස් ගුණයකට ඒවා ලංකාවේ මිල වී ඇති නිසාය. ලංකාවේ වාහන මිල ඉහළ ගියේ තීරු බද්දක් ඉහළ යාම නිසා හෝ අලුතින් බද්දක් වාහන සඳහා හඳුන්වා දුන් නිසා නොවේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ රජය විසින් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමයි. මෙහි මුක්ත අරමුණ වන්නේ රටේ විදේශ විනිමය සංචිතය ආරක්ෂා කරගැනීමය. සිංගප්පූරුවේ කලකට ඉහත සඟරාවක ලංකාව හඳුන්වා දී තිබුණේ Holiday Country (වැඩිම නිවාඩු දවස් ඇති රට) ලෙසය. ඊට ටික කලකට පසු මේ සිංගප්පූරු සඟරාවම ලංකාව හඳුන්වා දී තිබුණේ Vehicle Country (වාහන වැඩිම රට) ලෙසය. ලංකාවේ ඇත්තන් ජපන් වාහනවලට පොරකද්දී වාහන හදන ජපන් රටේ අවුරුදු 100 පැන්න ආච්චිලා, සීයලාත් පාරේ යන්නේ තවමත් පාපැදිවලය. ලංකාවේ වාහනය සමාජ පැතිකඩ කියාපාන ප්‍රබල සාධකයකි. බොහෝ විට නිවසකට වාහනයකින් යන උදවියට ඇත්තේ වැඩි සැලකිල්ලකි. ලංකාවේ මේ වාහන වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පෞද්ගලික අංශයේ ආයතන අතර ඇති තරගයයි. බොහෝ කළමනාකරුවන්ට පඩිය ලෙස ලැබෙන්නේ රු. 30,000කටත් අඩු වැටුපකි. ටාගට් එක කරා ළඟාවීමට සේවකයාට දෙන ඇම වන්නේ සුපිරි රථයකි. සුළු පඩියකට වාහනයක් සමග වැඩට යන සේවකයා රෑ දවල්​ නොබලා වැඩ කරන්නේ තමාට ජීවත් වීමට ඇත්තේ භාණ්ඩ අලෙවියෙන් ලැබෙන කොමිෂන් එකෙන් නිසාය. ගෙදර වාහනයක් තියෙන නිසා සේවකයාගේ බිරිඳ කීයටවත් හස්බන්ඩ්ට රස්සාවෙන් අස්වෙන්නට දෙන්නේ නැත. ඒත් ඉතින් කොරෝනාවත් සමග මේ සියල්ල උඩු යටිකුරු වී හස්බන්ඩ්ට වාහනය භාරදී රැකියාවත් නැතිවෙන තත්ත්වයක් උදාවූයේ නොසිතූ පරිදිය. ලංකාවේ කුඩා මෝටර් රථ ජනප්‍රිය වන්නට පටන් ගත්තේ අසූව දශකයෙන් පසුවය. ඒ කුඩා ජපන් රථ අතර ප්‍රධාන වන්නේ ඩයිහට්සු චැරේඩ් නමැති රථයයි. හොන්ඩා සිටි, නිසාන් මාච්, ටොයෝටා ස්ටාලට්, මිට්සුබිෂි, ටවුනි සහ සුසුකි 800 රථයද ඒ අතර විය. ඉන්දියාවේදී පසුව මෙම සුසුකි 800 රථය එකලස් කරන්නට ආරම්භ වන්නේ සුසුකි මරුති ලෙසය. 1989දී ලංකාවට මුලින්ම සුසුකි මරුති රථය පැමිණෙන්නේ රු. 175,000ක මුදලකටය. එම කුඩා රථයට තරගයක් දීමට වෙළෙඳපොළේ තිබුණේ එකම එක රථයකි. ඒ ඉතාලියේ නිෂ්පාදිත ෆියට් ඌනෝ නමැති රථයයි. උපාලි විජේවර්ධන, උපාලි ෆියට් එක ලංකාවේ හෝමාගම නිපදවන්නට පටන් ගත්තද මේ ඉතාලි ෆියට් කොම්පැනිය සමග වීම විශේෂත්වයකි. සුසුකි මරුටි රථය ලංකාවේ වෙළෙඳපොළ ආක්‍රමණය කළේ සියලු ජපන් කුඩා කාර්වලට කිට්ටුවටත් එන්නට බැරි ලෙසය. අමතර කොටස් මිල අඩුවීම, නඩත්තු වියදම අඩුවීම, ලයිසන් මිල අඩුවීම හා නැවත විකුණා ගැනීමේ හැකියාව (Resale Valve) මීට ප්‍රධාන හේතුවය. ඉන්දියාවෙන් ඉන්පසු මේ සුසුකි 800 රථය නිෂ්පාදනය අත්හිටවූ අතර වෙළෙඳපොළට නිකුත් වන්නේ ඉන්දියන් ALTO කාරයයි. අදත් වෙළෙඳපොළ සාමාන්‍ය ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය මෙම රථයයි. වාහන සේල් කිහිපයකම ගණන් හිලව් විමසීමෙන් පසු ඩිමාන්ඩ් වාහන සියල්ල තිබුණ තැනක් අපට හමුවූයේ මාල​ෙඕත් කඩුවෙලත් අතර ඔටෝවිෂන් ආයතනයේදීය. එහි සිටි හේමන්ත මහතාට අපේ අවශ්‍යතාව කියූ විට දුන් පිළිතුරෙන්ම අපට තේරුම් ගියේ පැමිණ ඇත්තේ නියම තැනට බවය. ‘‘සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියම සුසුකි ඇල්ටෝ රථයත්, වැගන් ආර් එකත් තමයි. ඇල්ටෝ කාර් එක 2015 හදපු එකක්. ලක්ෂ 17කට වගේ තිබුණේ. දැන් ලක්ෂ 22කටත් යනවා. වැගන් ආර් එක 2014 ඉඳන් එනවා. 2017න් පස්සෙත් ආවා. මුලින්ම ආවේ ලක්ෂ 30ටත් අඩුවෙන්. ඒත් දැන් කන්ඩිෂන් එක අනුව සමහර වැගන් ආර් ලක්ෂ හතළිහත් පැනලා යනවා.’’ අපට පෙනී ගියේ කරුණු සොයද්දී වරක් යහපාලන යුගයේ බදු අඩු කිරීමක් නිසා සුසුකි ඇල්ටෝ රථය ලක්ෂ 14ක දක්වා අඩුවී ඇති බවය. වෙළෙඳපොළේ කාර්, වෑන්, ඩබල් කැබ්වල මිල ගණන් ඉහළ යාම සිතාගත හැකි තත්ත්වයක් නම් නොවීය. අසුව දශකයේ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් අතර ජනප්‍රියම වාහනය වුණේ ලාන්සර් බොක්ස් නම් කාර් එකය. එම රථය පොදු ජනතාව සලකන්නේ ජපනා මෝඩ වී හදපු වාහනයක් ලෙසය. ඒ ලංකාවේ කොහේවත් ගරාජ් එකක දුවා ගන්නට බැරි ලාන්සර් බොක්ස් එකක් කොට උඩ තබා නැති නිසාය. මෙම රථය අසූව දශකයේ ලංකාවට හඳුන්වා දී ඇත්තේ රු. 225,000ක මුදලකටය. නමුත් වාහන ආනයනය සීමාවීමත් සමග හොඳ කන්ඩිෂන් එකේ ලාන්සර්බොක්ස් එකක මිල ලක්ෂ 12කටත් වඩා වැඩිය. ලාන්සර් බොක්ස් එකට පසුව ආ ලාන්සර් CGF රථය එතරම් මාකට් වුණේ නැත. කොරෝනාවට පෙර 13 ශ්‍රී වැනි මේ කාරයක් වෙළෙඳපොළේ රුපියල් ලක්ෂ දෙකහමාරටත් අඩුවෙන් මිලදීගත හැකි විය. දැන් මේ වාහනයක් මිල වන්නේ ලක්ෂ හයටත් එහාය. අප වාහන සේල් එකේ ඉන්න විට වාහනයක් ගන්නට ගැනුම්කරුවකු ආවේ දිරාපත් වී ගිය ත්‍රිරෝද රථයකිනි. අපට නම් ඒ ත්‍රීවීලරය ලක්ෂ දෙකක්වත් වටින්නේ නැත. එම ත්‍රිරෝද රියැදුරා අපට පැවසුවේ කලින් දින මේ අබලන් ත්‍රිරෝද රථයේ පොත ඇපයට තබා ලක්ෂ තුනහමාරක ෆිනෑන්ස් එකක් ගත් බවය. වාහන සේල් කීපයකම කරක් ගැසූ විට අපට පෙනී ගියේ ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති වාහනයක් නම් ටොයෝටා ප්‍රීමියෝ රථය බවය. ‘‘පර්මිට් එකට ලක්ෂ 50ට ගෙනාපු ප්‍රිමියෝ එකට අයිතිකාර මහත්තයා ලක්ෂ 120ක් ඉල්ලනවා’’ යි එක් වාහන සේල් හිමියකු අපට පැවසුවේ වාහනයේ මිල ගැන පයිසයකට ගණන් නොගනිමිනි. මේ වාහන සේල් හිමියන් ලංකාවේ ජනප්‍රියම වාහන මාදිලි ලෙස සලකන්නේ ඇලියොන්, ඇක්සියෝ, විට්ස් හා ප්‍රාඩෝය. ඔවුන් පවසන්නේ ඇලියොන් එකට නිශ්චිත මිලක් නැති අතර කියනා ගණනකට ගන්නට ගැනුම්කරුවන් සිටින බවය. ‘‘ඇක්සියෝ තිබ්බේ ලක්ෂ 70ට විතර. දැන් සමහර ඒවා ලක්ෂ 90ත් පැනලා යනවා. විට්ස් එක තිබ්බේ ලක්ෂ 30ට විතර. දැන් ලක්ෂ හතළිහටත් එහා හොඳ කන්ඩිෂන් එකක් දෙන්න පුළුවන්. කෝටියට අඩුවෙන් තිබ්බ ප්‍රාඩෝ ජීප් ඔක්කොම දැන් ලක්ෂ 130ට වැඩියි.’’ මේ වාහන හිමියන් ෆුල් ඩිමාන්ඩ් වාහන යැයි වාහන හැඳින්වූවද අපි කරක් ගැසූ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ෆුල් ඩිමාන්ඩ් බඩු වෙනස් විය. ජනතාව අතර වඩාත් ජනප්‍රිය පෙට්‍රල් වෑන් වර්ගය වූයේ සුසුකි එව්රි නමැති වෑන් රථයයි. එය වෙළෙඳපොළට පැමිණ ඇත්තේ ලක්ෂ 22කටත් අඩුවය. ඒත් දැන් එම වෑන් රථයේ මිල ලක්ෂ 28ත් පැන ගොස් ෆුල් ඔප්ෂන් රොටේටින් සීට් (පිටුපස කැරකෙන පුටු) රථයක් මිල වන්නේ ලක්ෂ 30කටත් එහාටය. වාහන අලෙවිකරුවන් කියන්නේ වාහන කෝටියක් වුණත් වැලිවේෂන් කරන්නට අය කරන්නේ රු. 3500ක් පමණක් බවය. වාහනයේ වටිනාකම ඇස්තමේන්තුවෙන් 70%ක් දක්වා ෆිනෑන්ස් ලබාගත හැකිය. ‘‘අලුත් වාහන ගණන් ගියාම පරණ වාහන හිතු හිතූ ගණන්වලට වෙළෙඳපොළේ මිල කෙරෙනවා. කටට එන ගණන් කියනවා. දැන් හදිසිවෙලා පරණ නොවටිනා වාහනයක් ලක්ෂ 10ට 15ට ගන්නවට වඩා ඉවසගෙන ඉඳල හොඳ වාහනයක් ඊට වැඩි ගාණකට ගන්න එක වටිනවා ’’ ජනප්‍රිය පළාත් සභා පැජරෝ ජීප් රථය කොරෝනාවට පෙර ලක්ෂ 20ට පමණ අලෙවි වුවත් දැන් එහි මිල ලක්ෂ 30කටත් එහාය. වෑන් අතර වැඩිම ඩිමාන්ඩ් එක ඇත්තේ ටොයොටා, ඩොල්ෆින් හා කැරවෑන්ය. ලක්ෂ 20ට තිබූ 54 කාණ්ඩයේ ඩොල්ෆින් එකක නව මිල ලක්ෂ 30ට සමීප වෙමින් තිබේ. කැරවෑන් එකටද දැන් උදාවී ඇත්තේ මේ තත්ත්වයමය. මේ වාහන අලෙවිකරුවන් පවසන්නේ ආනයන නැති වුණත් මේ අධික ඉල්ලුම නිසා කෙසේ හෝ ගැනුම්කරුවන් වාහන මිලදී ගන්නා බවය. ඔවුන් පවසන්නේ මේ අධික මිල ඉහළ යාම දැන් සාමාන්‍යකරණය වී ඇති බවය. වාහන මිල ඉහළ නිසා ලීසිං කොම්පැනිද අත දිගහැර ලීසිං දෙන බව වාහනයක් මිලදී ගැනීමට පැමිණි අයකු අප සමග පැවසුවේ රජය පොලී අනුපාතය අවම මට්ටමක පවත්වාගෙන යාම ඊට හේතු වී ඇති බවය. කෙසේ නමුත් අවසානයට අපට ඒත්තු ගියේ ලංකාවේ පොළොවේ යන වාහන මිල අහසේ යන ගුවන්යානා මිලට සමාන වීමට ඇත්තේ තව ටික දොහක් පමණක් බවය. දිවලකඩ වජිරබුද්ධි
 

More News..