brand logo

කාබන් බැඳුණු ආණ්ඩුවේ කාබන් බද්ද

01 April 2019

ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඇඟ බද්ද කියා බද්දක් තිබිණ. ඒ බද්ද ඇඟක්, ශරීරයක් තියාගෙන ඉන්නවාට ගැසු බද්දකි. ඇඟ බද්ද නොගෙව්වොත් දඬුවම වන්නේ පාරේ වැඩට යෙදවීමය. දැන් ඇඟ බද්ද නැත. එහෙත් යකඩ ශරීරයක් අරන් පාරේ ගියොත් ඒකට දැන් බදු වදින්නේය. මෙහි යකඩ ශරීරය ලෙස අප කීවේ වාහනයකටය. පෞද්ගලික වාහන හිමියන්ද, පෞද්ගලික බස් රථ හිමියන්ද, ප්‍රවාහන සේවා සපයන අයද ආදී වශයෙන් කුමන හෝ අන්දමකට වාහනයක හිමිකාරත්වය දරන්නෝ දැනටමත් වාහනයක් වෙනුවෙන් ආණ්ඩුවට සැලකිය යුතු මුදලක් ගෙවති. එසේ තිබියදී දැන් කාබන් බද්දකුත් අයකරයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ රථවාහනවල ඉන්ධන දහනය සැලකිල්ලට ගනිමින් මෙම බද්ද අය කරන බවය. එම ප්‍රකාශයේ අදහස විය හැක්කේ වාහන දුම මගින් නිකුත් කරන ‘‘කාබන්’’ පදනම් කරගෙන මෙම බද්ද අය කරන බවකි. නමුත් මේ වන විටද වාහනවල දුම් පරීක්ෂාවක් සිදුවේ. වාහනවලින් පිටවෙන කාබන් සම්බන්ධ තක්සේරුවක් ගැනීමට අවශ්‍ය නම් දුම් පරීක්ෂාවේදී එය සිදු කළ නොහැකි ද යන සැකය ජනයා තුළ මතුවේ. එසේම බද්දක් ගැසීමෙන් වාහනයක දුම් පිටවීම හෝ කාබන් දහනය අඩුවන්නේ කෙසේද යන්න තේරුම් ගත නොහැකිය. අපේ රටේ හැම දෙනාම තමන්ගේ කියා වාහනයක් ගන්නට උත්සාහ කරන්නේ පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරමින් ගමන් බිමන් යෑම බරපතළ වැඩ ඇතිව ලැබෙන දඬුවමක් වැනි කටයුත්කක් වන නිසාය. හැමෝටම පුංචි කාර් එකක් ගන්නට අවස්ථාව සලසන බව ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් වූයේද ඒ නිසා විය යුතුය. එහෙත් ඒ කියපු විදියට තවමත් පුංචි කාර් එකක් අලුතෙන් මිලදී ගැනීමට හැකි වී නැත. ඒ නිසා වැඩි දෙනා සුපුරුදු ලෙසම මිලයට ගන්නේ පාවිච්චි කළ පරණ වාහනය. එවැනි පරණ වාහනවල කාබන් දහනය අලුත් වාහනයකට වඩා සාපේක්ෂව වැඩිය. වාහනය පරණ වන්නට පරණ වන්නට අය කරන කාබන් බද්දද වැඩිවන නිසා කාබන් බද්දේ වැඩි බර පැටවෙන්නේද නැති බැරි මිනිසාටමය. මේ වන විට රටේ ලියාපදිංචි මුළු වාහන සංඛ්‍යාව හැත්තෑහත් ලක්ෂ අනූපන්දහස් හත්සිය හැට දෙකකි. ඒ 2019 වර්ෂයේ පෙබරවාරි මස 28 වැනිදා වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාවයි. මෙම ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාමට ලක් වේ. එම සමස්ත රථ වාහන ප්‍රමාණයෙන් විදුලි බලයෙන්ම ක්‍රියාත්මක වන වාහන කාබන් බද්දට යටත් වන්නේ නැත. ඇතැම් ආරංචි මාර්ග අනුව නිෂ්පාදන වර්ෂයේ සිට වසරක් යන තෙක් වන වාහනද කාබන් බද්දෙන් නිදහස්ය. නමුත් එය නිශ්චිත කර ගැනීම අපහසු කාර්යයක් වී ඇත. කාබන් බද්ද එ් තරමට සංකීර්ණ වී තිබේ. කාබන් බද්ද අය කිරීම රථ වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ෂය සහ වාහනයේ එන්ජින් ධාරිතාව මත වෙනස් වීමට භාජනය වේ. නිෂ්පාදන වර්ෂය අනුව සියලුම වාහන කොටස් 3කට බෙදෙයි. ඒ නිෂ්පාදන වර්ෂයේ සිට වසර 5ක් දක්වා වසර 5හේ සිට 10 දක්වා සහ වසර 10ට වැඩි වශයෙනි. මගී ප්‍රවාහන බස් රථ සඳහා කාබන් බද්ද ස්ථාවර ගාස්තුවකි. නිෂ්පාදන වර්ෂය අවුරුදු 5ට අඩුනම් කාබන් බද්ද රුපියල් 1000කි. නිෂ්පාදන වර්ෂය වසර 5 - 10 අතර නම් බද්ද රුපියල් 2000ක් වෙයි. වසර 10ට වැඩි නම් කාබන් බද්ද රුපියල් 3000කි. ආණ්ඩුවේ මේ හිඟන කාබන් බද්ද ගැන බරපතළ විරෝධය පළ කරන්නේ පෞද්ගලික බස් හා පාසල් සිසුන් ප්‍රවාහන වෑන් රථ හිමියන්ය. ‘‘මාර්ග බලපත්‍ර ගන්න රුපියල් 5000ක් අවුරුද්දකට ගෙවන්න ඕන. ඉන්ෂුවරන්ස් එකටත් රුපියල් 40,000ක් 50,000ක් විතර වැඩි වෙනවා. ලොග් ෂීට් එකට මාසෙකට රුපියල් 1000ක් අය කරනවා. එතකොට අවුරුද්දටම රුපියල් 12,000ක්. ආදායම් බලපත්‍රයට අයකරන්නේ බස් එකේ ආසනගානට අනුවයි. එක ආසනයකට රුපියල් 150ක් ගෙවන්න ඕන. එතකොට ආසන 42ක බස් එකක ආදායම් බලපත්‍රයට රුපියල් 6300ක් ගෙවන්න වෙනවා දුම් සහතිකෙත් ගන්න එපැයි. ඒකට රුපියල් 1040 ක්. එතකොට තෙල්, ටයර්, අමතර කොටස් මේ වියදම් සියල්ල බස් අයිතිකාරයට දරන්න වෙනවා’’ පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පවසන ආකාරයට මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් සඳහා කාබන් බද්දට අමතරව වසරකට රුපියල් හැට හැත්තෑ දහසකට මුදලක් රජයේ ගාස්තු ලෙස ගෙවීමට සිදුවෙයි. පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් හා බස් රථයක ආදායම් බලපත්‍ර ගාස්තුව අය කෙරෙන්නේ එක් ආසනයකට රුපියල් 500 බැගින් ගණනය කිරීමෙනි. ඒ අනුව ආසන 17ක වෑන් රථයක් සඳහා රුපියල් 8500ක ආදායම් බලපත්‍ර ගාස්තුවක් ගෙවීමට සිදුවෙයි. ආසන 42ක බස් රථයක් නම් ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 21,000කි. ‘‘ආදායම් බලපත්‍ර ගාස්තු විතරක් නෙවෙයි දුම් සහතිකේටත් ගෙවන්න ඕන. බස් එකකට නම් ඒ මුදල රුපියල් 1040ක් වෑන් එකක් නම් රුපියල් 1025ක් වෙනවා. ඒ විතරක්ද යෝග්‍ය හා සහතිකේට රුපියල් 500ක් ගන්නවා. රක්ෂණයට වෙනම. රථ ගාල් කරන ගාස්තුවක් රුපියල් 600ක් 1000ක් වෙනවා. ඒ මදිවට දැන් කාබන් බද්දකුත් ඇවිල්ලා’’ මෙවැනි විශාල ගාස්තු ප්‍රමාණයක් දරන්නට වීම වෘත්තීයමය ගැටලුවක් බව කියන්නේ පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි. කෙසේ වෙතත් මෙම පාසල් සේවා පොදු ප්‍රවාහන සේවා ආදී පොදු සේවා වාහන සඳහා අයවෙන කාබන් බද්ද අවසාන වශයෙන් පැටවෙන්නේ පොදු මහජනතාව මතය. ඒ අනුව ආදායම් බදු, එකතු කළ අගය මත බදු ජාතිය ගොඩනැගීමේ බදු ආදී විශාල බදු බරක් දරන ජනතාව මතට දැන් කාබන් බදු බරක් පැටවී තිබේ. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ කාබන් බද්දට අදාළව බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි. එළඹෙන ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනයේදී කාබන් බද්ද තීරණාත්මක සාධකයක් වනු ඇත. ආණ්ඩුවේ මේ නව බද්ද නිසා නිෂ්පාදන වර්ෂය වසර 5කට අඩු අශ්වබල 125 යතුරුපැදියක් සඳහා රුපියල් 62 ශත 50ක් ගෙවීමට සිදුවේ. වසර 5ත් 10ත් අතර යතුරු පැදියකට රුපියල් 125ක් වන අතර වසර 10ට වඩා පැරණි යතුරුපැදියක් සඳහා කාබන් බද්ද රුපියල් 187 ශත 50කි. එන්ජින් ධාරිතාව අශ්වබල 1000ක් වන මෝටර් රථයකට කාබන් බද්ද රුපියල් 500ක්, රුපියල් 1000ක් හා රුපියල් 1500ක් වශයෙන් අය කෙරේ. මෙම කාබන් බද්ද අය කෙරෙන්නේ වාහනයේ නිෂ්පාදන වර්ෂය හා එන්ජින් ධාරිතාව යන කරුණු මත පදනම්වය. මේ බද්ද අය නොකරන ලෙස ත්‍රි​රෝද රථ සංගම් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසන්නේ ඒ ගැන තවම තීරණයක් නැතත් ප්‍රතිචාර යහපත් බවය. ආණ්ඩුව කීයක් හෝ හම්බ කරගන්නට පනවා ඇති මේ බද්ද සම්බන්ධයෙන් ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ එය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙනි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ 2018 අංක 35 දරන මුදල් පනත මගින් අය කෙරෙන මෙම කාබන් බද්ද 2019 වර්ෂය සඳහා අය නොකරන බවයි. එහෙත් 2020 වර්ෂයේදී 2019 සහ 2020 යන දෙවර්ෂයටම අදාළව එම අයකර ගැනීම සිදුවන බවද ඔහු අවධාරණය කර සිටියේය. බොහෝ මාධ්‍ය ප්‍රචාර මගින්ද තහවුරු කර සිටියේ කොමාසරිස්වරයාගේ එම අදහසම වෙයි. එහෙත් මේ අවස්ථාව වන විට දිවයිනේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙම කාබන් බද්ද අය කරමින් සිටී. මේ පේන විදියට එක්කෝ කොමසාරිස්වරයාට වැරදී ඇත. නැතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වැරදීමක් සිදුවී ඇත. එහෙත් මහා භාණ්ඩාගාර අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව කාබන් බද්ද මේ වසරේ ජනවාරි මස 1 වැනිදා සිටම ක්‍රියාත්මක වෙයි. ඒ අනුව 2019 වර්ෂයේ ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී කාබන් බද්ද ද ගෙවිය යුතු වෙයි. ඒ සඳහා වන නියෝගයන් සහ චක්‍රලේඛයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් මෝටර් රථ කොමසාරිස්වරුන් වෙත යොමු කොට ඇත. නමුත් අන්තර්ජාල මාර්ගයෙන් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරන්නන් සඳහා 2019 වර්ෂයට කාබන් බද්ද අය නොවනු ඇත. ඊට හේතුව වශයෙන් දක්වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක පද්ධතීන් කාබන් බද්ද ගැනීම සඳහා යාවත්කාලීන වී නොතිබීමයි. අයකර ගැනීමේ ක්‍රමවේදයන් පවා නිසි ලෙස සකස් වීමට පෙර ලහි ලහියේ මේ බද්ද අය කර ගැනීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට එතරම්ම මුදල් හදිසියක් ඇති බවද? තුෂාර උඩවත්ත  
 

More News..