brand logo

කාකි සූට් අඳින පොලීසියට කළු කෝට් මෙන්න ගෙනාවා

17 January 2021

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් ​රෝහණ හැඳින්වීමේදී ඔහුගේ නම ඉදිරියෙන් තවත් පදයක් යොදනු ලැබේ. ඒ, ‘නීතිඥ‘ යනුවෙනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පදවියට අමතරව ඔහු පොලිස් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාය. එසේ බලන විට ඔහුට නීතිඥ කළු කබායටම ගැළපෙන තවත් රාජකාරියක් ලැබී තිබේ. අජිත් රෝහණට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගේ නම ඉදිරියටද ‘නීතිඥ‘ යනුවෙන් සඳහන් වේ. ඔහු පොලිස් නීති කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයාද වන්නේය. මේ නිසා පිත්තල බොත්තම් ඇඳුමට අමතරව ඔවුහු කළු කෝට් එකක් අඳිති. ඒ පොලිසිය වෙනුවෙන්, එසේ නැතිනම් පැමිණිල්ල මෙහෙයවීමට උසාවි යාමටය. මේ දෙන්නාම කළු කබා අඳින්නට පටන් ගත්තේ කාකි සූට් ඇන්දාට පසුවය. ඔවුන් දෙදෙනා පොලිසියට බැඳී රාජකාරි කරන අතරතුරේදී නීතිය හදාරා නීතිඥයන් ලෙස පත්වූවෝය. ඒ ආකාරයට නීතිඥවරු වූ පොලිස් නිලධාරීහු දුසිම් ගණනක් පොලිසියේ සිටිති. චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති පුටුවට පත්වන විට කළු කබා අඳින්නට සුදුසුකම් සපුරා තිබුණේය. ඒ නීතිඥයන්ද මේ නීතිඥයන්ද හැර තවත් නීතිඥයන් පිරිසක් ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන්නට නියමිතය. ඒ ගැන මුලින්ම හෙළිවූයේ ඉකුත් සතියේදීය. ඉන් කියවුණේ ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවට නීතිඥයන් එකසිය පනස් දෙනකු බඳවා ගන්නට යන බවකි. මෙතෙක් කලක් පොලිස් නිලදරුවන් නීතිඥයන් වූයේ දෙපාර්තමේන්තුවට එක්වීමෙන් අනතුරව නීතිය පිළිබඳව වැඩිදුර හැදෑරීමෙන් පසුවය. එහෙත් මේ වෙන්නේ එවැන්නක් නොවේ. නීති අධ්‍යාපනය ලබා නීතිඥයන් ලෙස දිවුරුම් දුන් පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශයට බඳවා ගැනීමකි. මෙය ක්‍රියාත්මක වන්නේ ‘අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ යෝජනාවක් අනුවය. එම යෝජනාව ජනපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා මේ ගැන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. නීතිඥවරු පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනෙන පළමු අවස්ථාව මෙය වුවද, අධිකරණයට අමතරව වෙනත් විවිධ රජයේ ආයතනවල ඔවුන් නීති නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ දැන් බොහෝ කාලයක පටන්මය. නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, සංස්ථා ආදී රජයේ ආයතන හැරුණුකොට යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන අංශයන්හිද අද වෙද්දී නීතිඥවරු විශාල පිරිසක් රාජකාරි කරති. අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා පෙන්වා දෙන්නේ එහිම දිගුවක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවටද නීතිඥවරු අනුයුක්ත කිරීමට අවධානය යොමු කළ බවයි. පොලිසිය සහ සාමාන්‍ය මහජනයා අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් නීතිඥයන් මෙලෙස පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට නියමිතය. ‘‘ගොඩක් වෙලාවට සාමාන්‍ය ජනතාවට නීතිය ගැන දැනුවත් භාවය අඩුයි. ඔවුන්ට ඒ ගැන නියමාකාර අවබෝධයක් දීලා පොලිසිය සහ ඔවුන් අතර සුහදත්වය වර්ධනය කිරීමටත්, ඒ තුළින් වඩාත් ක්‍රියාකාරී යුක්තිය පසිඳලීමේ ස්වභාවයක් ඇති කිරීමත් තමයි මේ කටයුත්තේ මූලික අරමුණ වෙන්නෙ’’ අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශකවරයා කියන්නේය. දැනට පවතින පොලිස් රෙගුලාසිවලට අනුව යම් නීතිඥවරයකුට උපාධියක් ඇත්නම් ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තනතුරේ පුරප්පාඩු ඇති අවස්ථාවක සෘජුවම ඒ සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමිවේ. ඉන් අනතුරුව දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විශේෂ විභාගයකින් සහ විශේෂ සම්මුඛ පරීක්ෂණයකින් සමත් වීමෙන් අනතුරුව එම තනතුරට උසස් වීමට ඔහුට හැකියාව ලැබෙයි. ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරින් නීතිය හැදෑරීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවලට උසස් කරන ක්‍රමවේදයක්ද දැනට ක්‍රියාත්මකය. ‘‘අපිට අවශ්‍ය වුණේ මේ ආකාරයට අපේ නීතිඥයන්ද පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමටයි.’’ ඒ අනුව ඉකුත් දා පැවති මූලික සාකච්ඡාවේදී අනාවරණය වී ඇත්තේ මේ යටතේ මූලික වශයෙන් නීතිඥවරු එකසිය පනස් දෙනකු පමණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් (CI) ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බඳවාගෙන වසර තුනක පරිවාස කාලයකින් අනතුරුව ඔවුන් සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කිරීමට හැකියාව ඇති බවයි. එලෙස බඳවා ගන්නා නීතිඥවරුන්ට සිය පරිවාස කාලය තුළ අදාළ පොලිස් පුහුණුව ලැබේ. ඉන් අනතුරුව අනෙකුත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් නිල ඇඳුම ඇඳීමට ඔවුන්ටද අවස්ථාව හිමිවේ. අදාළ පුහුණුවෙන් පසු ඔවුන් කටයුතු කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ නීතිඥවරු ලෙසිනි. ‘‘එහෙත් අපි මේ කතාබහට තවම සම්පූර්ණ එකඟතාව දුන්නෙ නැහැ. අපේ යෝජනාව වෙන්නෙ මේ නීතිඥවරු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු වශයෙන් නොව, සහකාර ​පොලිස් අධිකාරීවරු වශයෙන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලෙසයි’’ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කීවේය. කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළෙහි මූලික අරමුණ වී ඇත්තේ පොලිසිය කෙරෙහි ජනතාව තුළ ඇති දුරස්ථ භාවය නැති කිරීමේ යම් ක්‍රමවේදයක් සැකසීමයි. එහෙත් පොලිසිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමක් ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවේ. මූලික වශයෙන්ම නීතිමය කාරණා සම්බන්ධයෙන් අදාළ අවස්ථාවල නිලධාරීන්ට උපදෙස් දීමත්, නීතිය පිළිබඳව මහජනයාට අවබෝධයක් දීමත් පොලිසියට බඳවා ගන්නා නීතිඥයන්ගෙන් බලාපොරොත්තු වේ. එමෙන්ම නීතිඥවරු සතු දැනුමත්, නව තාක්ෂණයත් උපයෝගි කරගනිමින් අපරාධී ක්‍රියා විසඳීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ නිලධාරීන්ට උපදෙස් දීමක්ද ඔවුන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේය. ‘‘ඇතැම් නඩු පැවරීම් සම්බන්ධයෙන්ද මේ නීතිඥයන් අදාළ නිලධාරීන්ට විධිමත් උපදෙස් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් වඩාත් ක්‍රියාකාරී යුක්තිය පසිඳලීමේ ස්වභාවයක් ඇති කිරීමයි ප්‍රධාන අරමුණ.’’ ගයාත්‍රි ගීගනආරච්චි
 

More News..