brand logo

ක්‍රීඩාංගණයක් දියුණු කළා ම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙනවා

02 March 2021

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා රගර් පිටියේදී දුවනවට වඩා වේගයෙන් ක්‍රීඩා අමාත්‍යවරයෙකු ලෙස දුවමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද (02) අරලියගහ මන්දිරයේ පැවතිි උත්සවයකදී පැවසීය. ජවසම්පන්න පරපුරක් උදෙසා "ගමට පිටියක්" ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ක්‍රීඩා පිටියේදී ලබන අත්දැකීම ජීවිතය සාර්ථක කරගන්න ඉතා ම වැදගත් බවයි. නාමල් අමාත්‍යවරයා හට එම ජවය ලැබී තිබෙන්නේ පාසල් කාලයේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේ යෙදුන නිසා බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරයි. මෙම උත්සව සභාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.... "තමුන්නාන්සේලා දන්නවා තරුණ පරපුරටත් ළමා පරපුරටත් අද එල්ල කරන චෝදනා බොහොමයක් තියෙනවා. දෙමව්පියෝ කියනවා තරුණ පරපුරට ඉවසීමක් නෑ, කලබලකාරී බවෙන් යුක්තයි කියලා. ඒ වගේ ම දෙමව්පියෝ කියනවා තරුණයෝ පටු ආත්මාර්ථකාමී, සාමූහික හැඟීමකින් තොරව ජීවත්වෙන පිරිසක් කියලා. ඒ වගේ ම ෆෝන් එකට ම ලැප්ටොප් එකට ම තරුණයෝ ඇබ්බැහි වෙලා ඒගොල්ලෝ සංවේදී නැහැ කියලා තවත් පිරිසක් කියනවා. මෙහෙම චෝදනා කරනවා මිසක් ඒකට හේතු හොයලා බලන්න අපි පුරුදුවෙලා නැහැ. එදා මේ රටේ හැමතැන ම එකම ක්‍රීඩා පිට්ටනියක් වගේ තිබුණේ. වතුපිටි විශාලයි. ගම්වල ඕනෑ ම වත්තක ඕනෑ ම ක්‍රීඩාවක් කරන්න පුළුවන් තරම් ඉඩකඩක් තිබුණා. නමුත් දැන් අපි පාරේ යනකොට පේනවා බොහෝ නගරවල වගේ ම ගම්බදවත් ඉඩකඩම් ඉතා ම කුඩා වේගෙන යනවා. ඒ වගේ ම අද වාහන පාකින් එකක් හදන්න තියෙන උනන්දුව දරුවන්ට ක්‍රීඩාපිටියක් හදන්න ඇත්තේ නැති බව ඔබ පිළිගන්නවා ඇති. මේ රටේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩක් තියෙනවද කියන කාරණය ඒ නිසා අලුතෙන් ම අපි හිතා බලන්න ඕනේ. මේ තත්ත්වයෙන් රට මුදාගන්න, අපේ ජාතිය බේරාගන්න තබන හොඳ ම පියවරක් තමයි අද මේ අපි තබන්නේ කියලයි මම විශ්වාස කරන්නෙ. පාසලක් විවෘත කළාම බන්ධනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒ වගේ ම තමයි පිට්ටනියක්, ක්‍රීඩාංගණයක් දියුණු කළා ම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට හිතනෙවා. අද අපේ රටේ පුරවැසියන්ගේ ආයු කාලය වයස අසූව ඉක්මවලා තියෙනවා. එහෙම දීර්ඝායුෂ වින්දත් රෝගියෙක් හැටියට නම් ජීවත්වෙන්න සිදුවන්නේ ඒකෙන් ඇති වැඩක් තියෙනවා ද? වැඩක් නැහැ. අද ලෝකෙ ම හොඳ ජීවිතයක්, නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම ගැන හිතන කාලයක්. ඒකට තමයි එක පැත්තකින් ක්‍රීඩාව තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ. අද අපේ සමහර දෙමව්පියෝ හිතනවා, ක්‍රීඩාව කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතා ම හොඳ ඉල්ලුමක්. අද ක්‍රීඩාව කියන්නේ එක පැත්තකින් වෙළෙඳපොළක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විෂයක් බවට පත්වෙලා ඉවරයි. අද අපේ රටේ ක්‍රීඩා පාසැල් ගණන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ තත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕනි. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයො බිහිකරන්න ඕන. අද රටේ තියෙන්නේ ක්‍රීඩා නැරඹීමක් මිසක් ක්‍රීඩාවේ යෙදීමක් නෙමෙයි. නරඹන්නත් ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අය ක්‍රීඩාවේ යෙදෙනවා නම් තමයි හොඳ. එහෙම පරපුරකට තමයි අනාගතයේ සාර්ථක නීරෝගීමත් ජීවිතයක් ගතකරන්න පුළුවන්කම තියෙන්නේ. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නෙ. මීට සතියකට පමණ කලින් තමුන්නාන්සේලාට මතක ඇති අපේ ලංකාවට ආවා පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා. එතුමා කිව්වා, එතුමා දේශපාලනයට ඇවිල්ලා තනියම පක්ෂයක් හදාගෙන වැඩ කරලා වසර ගණනාවක් පරාජය වෙමින් ඒ සියල්ලම දරාගෙන හිටියා කියලා. ඒ කාලේ එතුමාට බොහෝ දෙනෙක් හිනා වුණාලු. නමුත් එතුමා ඉවසීමෙන් කටයුතු කරලා අවසානයේ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ධූරය ලබාගත්තා. ඉම්රාන් ඛාන් මැතිතුමා මට කිව්වා, එතුමාට පිට්ටනියෙ දි ලැබිච්ච අත්දැකීම තමයි ඒ වගේ ගමනක් එන්න බලපෑවේ කියලා. අපිටත් එහෙමයි. අපි ජීවිතයේ පරාජයට මුහුණපෑ අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා. ගොඩනඟලා අවුරුදු 4ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේ ම පරාජයත් පුරුදු වෙච්ච නිසා. යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරන කොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්වය ලැබුණේ ක්‍රීඩාවෙන් බව මම කියන්න ඕනෑ. ඒ නිසා අද අපි සියලු ම ආකාරයේ පිට්ටනි දිහා අලුත් ඇහැකින් බලන බව තමුන්නාන්සේලාට පේනවා ඇති. අද ඉඳන් අපි මේ රටේ තියෙන පාසැල් පිට්ටනි වැඩිදියුණු කරනවා. ඒ වගේ ම මහජන ක්‍රීඩාපිටි වැඩිදියුණු කරනවා. ඒ විතරක් නෙමෙයි ගම්වල අලුතෙන් කුඩා ක්‍රීඩාංගණ ඉදිකරන්න අවශ්‍ය සියලු ම පහසුකම් ලබාදෙන්න කටයුතු කරනවා. මෙහෙම කරන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි, නිරෝගී පරමායුෂ ඇති පිරිසක් මේ රටට බිහි කරන්න ඕනි හින්දා. ඉවසීමෙන් සංයමයෙන් යුතු ආත්මාර්ථකාමීත්වයෙන් තොර සාමූහික හැඟීමෙන් යුතු පරපුරක් මේ රටේ බිහි කරන්න ඕනි. ඒ සඳහා තමයි අපි මේ කටයුත්ත ඉටුකරන්නෙ. පරිගණකයට, ටෙලිෆෝනයට ඇබ්බැහි වුණ යාන්ත්‍රික බවෙන් අපේ ජාතිය මුදාගන්න ඕන. මම අපේ රටේ දෙමව්පියන්ට කියන්න ඕනේ අද මේ රටේ ක්‍රීඩා ඇමැති හොඳ ක්‍රීඩයෙක්. මම ඇමැති වුණත් විපක්ෂ නායක වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් නාමල් සෙල්ලම් කරන කොට පිට්ටනියට බලන්න ගියා. මම හිතන්නෙ පොඩි කාලෙ ඉඳන් හැම මැච් එකට ම මම ගියා. වයස 6-9 වෙනකොට පටන් ගත්තෙ. ඒ හැමදා ම මම ගිහිල්ලා තියෙනවා. මොකද පිට්ටනියෙ දි ලැබෙන අත්දැකීම ජීවිතය සාර්ථක කරගන්න ඉතා ම වැදගත් වෙන නිසා. මට පේනවා දැන් නම් නාමල් රගර් පිට්ටනියේ දුවනවාට වඩා වැඩි වේගයෙන් ක්‍රීඩා ඇමැතිකම අරගෙන දුවන බව. ඇමැතිතුමාට ඒ ජවය ලැබිලා තියෙන්නේ, වැඩ කිරීමට වුවමනා ශක්තිය ලැබිලා තියෙන්නේ එයත් පාසල් කාලයේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේ යෙදුන නිසා කියලයි මම විශ්වාස කරන්නෙ. මේ රටේ සියලු දෙනා ඒ විදියට ක්‍රීඩාව දිහා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අවධානය රටේත් ජාතියේත් අවධානය යොමු කරවන්න ඕන." මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මධුර විතානගේ ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් එක්ව සිටියහ.
 

More News..