brand logo

ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වැඩිම වටිනාකම් ධනංජය සහ දික්වැල්ලට

17 May 2021

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික කමිටුව මීට පෙර කී පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුව දක්ෂතා පදනම් කරගත් ක්‍රමවේදයක් යටතේ ලබා දීමට පියවරගෙන තිබේ. ඒ අනුව 2019 ජනවාරි පළමුවැනිදා සිට මේ වසරේ (2021) ජනවාරි 31 වැනිදා දක්වා කාලයේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා තුනෙහිදීම ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පදනම්කරගෙන කොන්ත්‍රාත්ගත කිරීම් සිදුකර ඇත. අදාළ පිටියේ දක්ෂතාවයන්ට අමතරව ශාරීරික යෝග්‍යතාව, නායකත්ව ලක්ෂණ සහ අනාගතයට එම ක්‍රීඩකයාගේ ඇති වටිනාකම යන කරුණු කෙරෙහිද, සැලකිල්ලක් දක්වමින් කොන්ත්‍රාත්ගත කිරීමේදී ලකුණු ලබාදී ඇති බවද සඳහන් වේ. මෙම සෑම කරුණක්ම සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයින් 24 දෙනෙක්ට ශ්‍රේණි 4ක කාණ්ඩ 12ක් යටතේ වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත් ලබා දීමට තීරණය වී තිබේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් 25,000 සිට 100,000 දක්වා ඔවුන්ට වාර්ෂික වැටුප් බෙදී යන පරිදි කොන්ත්‍රාත්ගත කිරීමට පියවරගෙන තිබේ. කොන්ත්‍රාත්ගත ක්‍රීඩක ලැයිස්තුවට අනුව එහි ඉහළම ශ්‍රේණිය හෙවත් ‘ඒ’ ශ්‍රේණියේ 1 කාණ්ඩයේ මුල් ස්ථාන කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව තිබේ. ඔවුන්ට එහිදී ඇමරිකානු ඩොලර් 100,000ක (රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක්) කොන්ත්‍රාත්තුවක් පිරිණැමීමට නියමිතය. නව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක කුසල් පෙරේරා ඇමරිකානු ඩොලර් 80,000කටත් (‘ඒ’ ශ්‍රේණියේ 2 කාණ්ඩය යටතේ), නව එක්දින උප නායක කුසල් මෙන්ඩිස් ඇමරිකානු ඩොලර් 70,000කටත් (‘ඒ’ ශ්‍රේණියේ 3 කාණ්ඩය යටතේ) කොන්ත්‍රාත්ගතව ඇත. නව කොන්ත්‍රාත්තුවට අනුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලො මැතිව්ස් ‘ඒ’ ශ්‍රේණියේ 2 කාණ්ඩයෙන් ඇමරිකානු ඩොලර් 80,000කටත්, ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ‘ඒ’ ශ්‍රේණියේ 3 වැනි කාණ්ඩයෙන් ඇමරිකානු ඩොලර් 70,000කටත් සහ සුරංග ලක්මාල් ‘බී’ ශ්‍රේණියේ 1 කාණ්ඩයෙන් ඇමරිකානු ඩොලර් 65,000කටත් කොන්ත්‍රාත්ගතකර ඇත. අදාළ ක්‍රීඩකයින් තිදෙනාට මීට පෙර පැවැති ක්‍රීඩක කොන්ත්‍රාතුවේදී ලබා දී තිබුණු වටිනාකමට වඩා මෙවර පිළිවෙලින් ඇමරිකානු ඩොලර් 50,000ක්, ඇමරිකානු ඩොලර් 30,000ක් සහ ඇමරිකානු ඩොලර් 45,000ක් ආදී වශයෙන් කොන්ත්‍රාත් වටිනාකම් අඩුවී ඇතැයි පැවසේ. කෙසේ නමුත් මේ දක්වා ක්‍රීඩකයින් විසින් නව කොන්ත්‍රාත්තුව සඳහා අත්සන්කර නොමැති බව වාර්තා වේ. එසේම කොන්ත්‍රාත් සකස් කිරීමේදී යොදාගත් ක්‍රමවේදය පිළිබඳව ක්‍රීඩකයින් කිහිපදෙනෙක් බලධාරීන්ගෙන් විමසා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කොන්ත්‍රාත්ගත කිරීම්හි අවසන් ශ්‍රේණිය වන ‘ඩී’ ශ්‍රේණියේ 2 වැනි කාණ්ඩය යටතේ ඇමරිකානු ඩොලර් 30,000කට නියම වී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනාගත බලාපොරොත්තුවක් වශයෙන් හඳුනාගෙන සිටින යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංඛ ‘බී’ ශ්‍රේණියේ 3 වැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙස ඇමරිකානු ඩොලර් 55,000කට කොන්ත්‍රාත්ගව සිටියි. මෙම නව කොන්ත්‍රාත්ගත කිරීමේදී නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයින් ඇතුළත්ව නොසිටීම විශේෂත්වයකි. අවසන් වරට ක්‍රීඩකයින්ට ලබාදුන් මුළු කොන්ත්‍රාත් මුදලට සාපේක්ෂව මෙවර එය සියයට 35ක් වැනි අගයකින් අඩු වී ඇති බවටද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ගයාශාන් විතානආරච්චි
 

More News..