brand logo

ක්‍රිකට් සෙවණැල්ලට සැඟවුන වේගවත්ම ධාවකයා

01 February 2021

මේ දිනවල ක්‍රිකට් කියන්නේ රටේම මාතෘකාවකි. දිනුවත් පැරදුණත් ක්‍රිකට් ගැන කතා කිරීමේ අඩුවක් නැත. පසුගිය සතියේ වුණෙත් ඒකමය. නමුත් ක්‍රිකට් පරාජයේ වේදනාව තුරන් කරමින් මීටර් 100 ඉසව්වේ වේගවත්ම ධාවකයා ලංකාවට ජයග්‍රහණයක් රැගෙන ආවද, ලංකාවේ ඒ සඳහා යොමු වූ අවධානය තිබුණේ අවම මට්ටමකය. ඔහු මෙම ජයග්‍රහණය ලැබුවේ ඉතාලියේ අන්කොනාහිදීය. ඒ මීටර් 60 ඉසව්ව තත්ත්පර 6.59ක කාලයකින් අවසන් කරමින්ය. එය සටහන් වූයේ මේ වසරේ එම ඉසව්ව සඳහා වාර්තා වූ ලොව සිවුවැනි හොඳම කාලය ලෙසින්ය. අපි ඔහු වෙනුවෙන් ඉඩ වෙන් කළෙමු. මේ යුපුන් අබේකෝන්. යුපුන්ගේ නමින් මේ සතියේ තවත් ශ්‍රී ලංකා වාර්තාවක් ලියැවුණා? අවසන් මාස පහක කාලයේදී මම පිහිටුවූ දෙවැනි ශ්‍රී ලංකා වාර්තාව මේක. ගිය සැප්තැම්බර් මාසයේ තත්ත්පර 10.16ක කාලයකින් මුලින්ම මීටර් 100 වාර්තාව තිබ්බා. ඒක දකුණු ආසියානු වාර්තාවකුත් වුණා. මීටර් 60 ඉසව්ව සඳහා වෙනම පුහුණු වෙන්න ඇති? මීටර් 100 වාර්තාව තැබුවට පස්සේ මට තරග තිබ්බේ නැහැ. ඒ නිසා මගේ පුහුණුකරු ක්ලව්ඩියෝ ලිචර්දෙල්ලෝ කිව්වා මීටර් 60 ඉසව්වත් අපි කරලා බලමු කියලා. එහෙම තමයි මේ ඉසව්වට යොමු වුණේ. ඒ ඉසව්වේ කාලය සටහන් වුණේ මේ වසරේ ලොව සිවුවැනි වේගවත්ම කාලය ලෙස? මීටර් 60 ඉසව්ව තත්ත්පර 6.78 කින් අවසන් කරලා මගේ පැවැති වාර්තාව බිඳ හෙළන්න අදහසක් තිබුණා. නමුත් ලෝකෙන්ම සිව්වැනි තැනට එයි කියලා හිතුවේ නැහැ. මීටර් 60 ඉසව්වට හැමෝටම සහභාගි වෙන්න බැහැ කිව්වොත්? ඒ ඉසව්ව පැවැත්වෙන්නේ ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිවල විතරයි. ඒ පහසුකම් තියෙන රටවල අයට තමයි වැඩියෙන් ගෘහස්ථ තරගාවලිවලට එන්න අවස්ථාව ලැබෙන්නේ. ජයග්‍රහණයෙන් පස්සේ විශේෂ සුබ පැතුම් ආවාද? ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ඒ වගේම මා ලංකාවේ නියෝජනය කරන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායෙන් මට සුබ පැතුම් ආවා. ඉතාලියට ආවේ? මම ඉතාලියට ඇවිත් අවුරුදු 5ක් වෙනවා. මම මෙහෙ ආවේ මගේ වියදමින්. ක්‍රීඩා කරන්න තියෙන වුවමනාව නිසා. ජොබ් එකක් කරන ගමන්ද ක්‍රීඩා කරන්නේ? ජොබ් කරන ගමන් ක්‍රීඩාව හරියට කරන්න බැහැ. දැනටත් අඩුම තරමේ පාට් ටයිම් ජොබ් එකක්වත් මම කරන්නේ නැහැ. මෙච්චර කල් මගේ වියදම් දැරුවේ මගේ දෙමව්පියෝ. ඇතැම් වෙලාවට මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාත් මට උදව් කළා. ඉදිරියටත් පෞද්ගලික වියදමින්ද මේ කටයුතු කරන්න වෙලා තියෙන්නේ? මේ ජයග්‍රහණයත් එක්ක ක්‍රීඩා ඇමැතිතුමා ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතාලියේ මේ දවස්වල ගෙවෙන්නේ සීතල කාලයක්. ඉතාලියේ වයිරස තත්ත්වයත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවාත් එක්ක ක්‍රීඩා කටයුතු කරන්නේ? එළියේ කිසිම පුහුණුවීමක් කරන්න බැරි තරමට මේ දවස්වල සීතලයි. ගෘහස්ථ ක්‍රීඩාංගණවල පුහුණුවීම් තියෙන නිසා වයිරසයෙනුත් වෙනදාටත් වඩා පරිස්සම් වෙන්න වෙලා තියෙනවා. ඒත් මේ අවදානම අරගෙන අපිට ඉදිරියට කටයුතු කරනවා. ඉතාලියේ පුහුණුකරුවෙක් ගන්න එක ලේසි නැහැ. ඔහුටත් ගෙවීමක් කරනවා ඇති? සාමාන්‍යයෙන් මේ වගේ රටක පුහුණුකරුට අනිවාර්යයෙන් ගෙවීමක් කරන්න ඕනේ. නමුත් මගේ පුහුණුකරු මම ඉන්න තත්ත්වය තේරුම් අරන් මට මේ දක්වා නොමිලේ පුහුණුවීම් කළා. ඒත් ඉදිරියේදී ඔහුට ගෙවීමක් කරන්න වෙනවා. ඉතාලියෙන් අනුග්‍රාහකත්වයක් හොයා ගන්න උත්සාහ කළේ නැද්ද? මම ඉතාලියේ හිටියට දුවන්නේ ලංකාවට නිසා ඔවුන්ගේ අනුග්‍රාහකයෝ මට එන්නේ නැහැ. ගිය අවුරුද්දේ මීටර් 100 ඉසව්වේ මම හිටියේ ඉතාලියෙන්ම අංක තුනට. මේ තත්ත්වය පැහැදිලි කරලා ලංකාවේ ආයතන කිහිපයකින් මම අනුග්‍රාහකත්ව ඉල්ලුවා ඒත් කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. සහභාගි වන තරගාවලිවලින් යම් මුදලක් ලැබෙනවා ඇති? සෑම මීට් එකකින්ම සල්ලි ලැබෙන්නෙ නැහැ. ලෝකෙම පිළිගත් ධාවකයෝ සහභාගිවෙන තරගවල ජයග්‍රහණ ගත්තොත් යම් මුදලක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ඉතාලි කෑමද වැඩියෙන් කන්නේ? ලංකාවේ කෑම කැවෙනවා හරිම අඩුයි. මොන කෑම කෑවත් ඩොක්ටර් කියන විදිහට තමයි කෑම ගන්නේ. ක්‍රිකට් වගේ ක්‍රීඩාවක දිනුවත් පැරදුණත් ලංකාවේ කතා කරනවා. ලංකාවේ මලල ක්‍රීඩාවට තියෙන තැන ගැන මොකද හිතෙන්නේ? ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්. වැඩි පිරිසක් ක්‍රිකට් එක්ක ඇලිලා ඉන්නවා. මලල ක්‍රීඩා කියන්නේ අපේ රට ලෝකෙන්ම දිනපු ක්‍රීඩාවක්. එවැනි ක්‍රිඩාවකට තියෙන තැන ගැන කනගාටුවක් තියෙනවා. ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් ගත්තොත් ඒකේ ඕනෑ තරම් වාර්තා තියන්න පුළුවන්. ඒත් තත්ත්පර දශම එක්ක අපි මේ ක්‍රීඩාව කරන්නේ. මීළඟ බලාපොරොත්තුව? මීටර් 100 ඉසව්ව තත්ත්පර 10.05කින් අවසන් කරලා ඔලිම්පික් යන්න. මලල ක්‍රීඩකයෙක් වීම ගැන තෘප්තිමත්ද? ඔව් තෘප්තිමත්. හැබැයි ලංකාවේ මලල ක්‍රීඩකයෙකුගේ ආර්ථිකය පැත්තෙන් බැලුවොත් සතුටු වෙන්න බැහැ. ලෝකේ වෙනත් රටවල් එක්ක බලද්දි ඒක අහසට පොලොව වගේ. අපි ජීවිතේම ක්‍රීඩාව වෙනුවෙන් කැප කළත් ආර්ථිකය අතින් දෙයක් ලැබෙනවා අඩුයි. මලල ක්‍රීඩකයෙක් නොවුණා නම්? අවුරුදු 8 ඉඳන් එකම බලාපොරොත්තුව වුණේ මේක. එතැනින් එහා හිතලා නැහැ. හෙට ක්‍රීඩාව නැවැත්තුවත් ඊට පස්සේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැහැ. මේ දක්ෂතා එක්ක ඉතාලිය නියෝජනය කරමින් ක්‍රීඩා කරන්න ඇරයුම් ආවේ නැද්ද? කලින් නම් එහෙම ආරාධනා ආවේ නැහැ. ඒත් දැන් මට කතා කරනවා ඉතාලිය වෙනුවෙන් තරග කරන්න කියලා. ගයාශාන් විතානආරච්චි
 

More News..