brand logo

ක්‍රිකට් විනිසුරු මුල් පුටුව දොලවත්තට

26 February 2021

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපති වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත්. සී. දොලවත්ත නිතරගයෙන් තේරී පත් විය. සංගමයේ හිටපු සභාපති දමින්ද කුරේ විසින් නව සභාපතිවරයා වෙත සංකේතාත්මකව අදාළ තනතුරේ වැඩ කටයුතු භාර දීම පසුගියදා කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පිහිටා ඇති ක්‍රිකට් විනිසුරුවන්ගේ මූලස්ථානයේදී සිදු කෙරිණි. 1944 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වසර 76ක කාල සීමාවක් මුළුල්ලේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීම කෙරෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. මේ අතර විනිසුරුවන්ගේ සංගමය සඳහා ස්ථිර ස්ථානයක් ලබා ගැනීම සඳහා තමන් කටයුතු කරන බව අභිනව සභාපතිවරයා නව පත්වීමෙන් අනතුරුව සඳහන් කර සිටියේය. ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ තරග ලේකම් සමන් හේවාවිතාරණ, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම, සහකාර ලේකම් පාලිත කුලතුංග යන අය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිිකට් විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් රැසක් එම අවස්ථාවට එක් විය.
 

More News..