brand logo

ක්‍රිකට් මල්ලිලාත් ​‘නොකවුට්’

09 February 2020

අද අවසන් වන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ කිරුළු දරන්නේ කවුරුන්ද? ඉන්දියාවද? නැත්නම් අවසන් මහා තරගයකට ‘කෝඩුකාර’ බංග්ලාදේශද? යන පැනයට හරියටම තවත් හෝරා කිහිපයකින් උත්තර ලැබෙනු ඇත. අවසන් පූර්ව වටය සඳහා පිවිසි කණ්ඩායම් හතරෙන් තුනක්ම දකුණු ආසියාතික කලාපයෙන් සුදුස්සන් වී තිබීමත් සමගින් ලෝක කුසලානයේ සින්නක්කර අයිතිය මෙවරත් දකුණු අසියාවටම ලියැවෙනු ඇතැයි බොහෝ විචාරකයෝ පූර්ව මත පළ කළහ. ඒ අතරින් අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලැබීමත් සමගින් විචාරකයන්ගේ මතය තවදුරටත් තහවුරු විය. අද පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව සිය පස්වැනි යොවුන් ලෝක කුසලානයේ පහස විඳීමට සූදානම් වත්දී එතෙක් මෙතෙක් ඉතිහාසයේ බංග්ලාදේශය සිය කුළුඳුල් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ සටනට සූදානමින් සිටියි. අතීතයේ පටන් දකුණු ආසියාවේ ක්‍රිකට් පතාක යෝධයන් ලෙසින් නම්දරා සිටි ඉන්දියාව සහ පාකිස්තානය කල්තියා යොවුන් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග වරම් දිනා ගත්තේය. කලක පටන් ක්‍රිකට් ලිලිපුට්ටන් යැයි සැලකූ බංග්ලාදේශයද, යෝධයන් සේ නැගී සිටිමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තේ කල් තියා ලෝක කුසලාන අවසන් සටනකට පිවිසීමේ පෙරනිමිති සමගය. ආරම්භය හොඳනම් අවසානයත් හොඳ විය යුතු බවට කියමනක් තිබේ. බංග්ලාදේශ යෞවනයෝ කලකට පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජයග්‍රාහී ආරම්භයක් ලබාගෙන තිබේ. ඒ ආරම්භය, සාර්ථක ක්‍රිකට් ගමනක නියැළෙන බංග්ලාදේශ ජාතික කණ්ඩායම හා එක්වූ කල්හි ඔවුන්ගේ අවසානයත් නිසැකයෙන්ම හොඳවනු ඇත. නමුත් එක්දින ලෝක කුසලානයක්, විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනා සාඩම්බර ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යොවුන් පිලට වූයේ කුමක්ද? ලිලිපුට්ටන්, යෝධයින්ගේ චරිතයට පණ පොවද්දී, යෝධයින් ලෙසින් නම් දරා සිටි ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයේදී සිදුවූයේ ලිලිපුට්ටන් සේ පල්ලම් බසින්නටය. ඒ නිකන්ම නිකන් නොවෙයි. මෙතෙක් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද දරුණුතම පරාජයටද උරුමකම් කියමිනි. ඇෆ්ගනිස්තානයත් ශ්‍රී ලංකාව පසුකර ලෝක කුසලාන ගමනේ ඉදිරියට යද්දී, 10 වැනි තැන සිටි ශ්‍රී ලංකාවට පිටුපසින් සිටියේ සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, කැනඩාව, එක්සත් අරාබි එමීර්, නයිජීරියාව සහ ජපානය පමණි. යොවුන් ලෝක කුසලාන ගමනේදී ශ්‍රී ලංකාව පිළිබඳ ලොවක් කතා කරන්නට වුණේ පැයට කිලෝමීටර් 175ක වේගයකින් මතීෂ පතිරණ යැවූවායි කියූ පන්දුවටය. එය තාක්ෂණික ගැටලුවක් ලෙසින් ක්‍රිකට් විචාරකයෝ පැවසුවත්, අද වනතුරු එහි ඇත්ත නැත්ත ගැන අයි.සී.සී.ය මුනිවත රකිමින් සිටියි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සාධනීය තත්ත්වයක් පෙන්වූ රවිඳු රසාන්ත ශතකයක්ද ඇතුළුව ඉනිම හයකදී ලකුණු 286ක් රැස්කරගෙන සිටියේය. සටහන ලියන මොහොත වනවිටත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ ඔහුගේ නම තිබුණි. මලින්ත ගජනායකගේ නායකත්වයෙන් 2000 වසරේදී යොවුන් ලෝක කුසලාන අවසන් සටනට පිවිසි ශ්‍රී ලංකාවට එතැනින් එහාට අවසන් සටනක් යනු හීනයක්ම විය. ලෝකයේ පාසල් ක්ෂේත්‍රයේ හොඳින්ම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමිවේ. ක්‍රිකට් ක්‍රීඩාවට එහෙව් මුලික ‘අත්තිවාරමක්’ වැටෙන රටකට යොවුන් ලෝක කුසලානයක් දිනා ගැනීමට තවමත් නොහැකි වීමත් මේ අයුරින් පල්ලම් බැසීමත් සුළුකොට තැකිය හැකිද? ජාතික ක්‍රිකට් පිල ජයග්‍රාහී මාවතකට ගැනීමට නම් පාසල් ක්‍රිකට් පිටිය හොඳ විය යුතු බවට වරෙක ප්‍රකාශ විය. එනිසා පාසල් ක්‍රිකට් පිටියේ වැරදි ඇත්නම් ඒවා හදා ගැනීමට බොහෝ යෝජනා ඉදිරිපත් විය. ඒ අතර චෝදනාද විය. දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි අවදියේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට රැගෙන යාම සඳහා මෙරට ක්‍රිකට් පුරාවෘතයන් වන කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, අරවින්ද ද සිල්වා වැන්නවුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සැලසුම් සකස් කළහ. නමුත් එදා සංගක්කාරලා, මහේලලා, මුරලිලා එක්ව සකස්කර දුන් සැලසුම් තවමත් හමස් පෙට්ටියේය. ඉතින් හරියයිද? ජාතික කණ්ඩායමද අසාර්ථකය. අනාගත බලාපොරොත්තුද වියැකී ඇත. ඉතින් කුමක් කරමුද? ගයාශාන් විතානආරච්චි
 

More News..