brand logo

ක්‍රිකට් නිලවරණ බාලගිරි දෝෂය හෙට ‌නෙමෙයි අනිද්දා...?

16 February 2019

මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති, ලේකම් සහ උප සභාපති ධුර සඳහා නාම යෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මෙන්ම උප සභාපති, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා නාමයෝජනා භාරදුන් රවීන් වික්‍රමරත්න යන අය තම නාම යෝජනා ප්‍රතික්‍ෂේප වීමට එරෙහිව නඩු මගට බැස ඊට තහනම් නියෝගයක් ගැනීමට තීරණය කිරීමත් සමග ක්‍රිකට් නිලවරණයට බාලගිරි දෝෂය තවදුරටත් බලපානු ඇතැයි සිතුවිලි පහළ වේ. ඉකුත් වසරේ මැයි 31 වැනිදා පටන්ගත් නිලවරණ කඹ ඇදිල්ල ලබන 21 වැනිදා අවසන් වෙතැයි අපේක්ෂා කළද, මේ තත්ත්වය හේතුකොටගෙන 2019/2021 කාලයන්ට අදාළව නිලමඬුල්ල තෝරා පත්කර ගැනීම තවදුරටත් කල් යාමේ තත්ත්වයක් පවතියි. හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවූවද, ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරමින් මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න නිලවරණය වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබිණි. නමුත් ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටුවට ලැබී තිබුණු නාමයෝජනා 6 ක් වෙනුවෙන් ගොනු වී තිබුණු විරෝධතා සැලකිල්ලට ගනිමින් ඉහත දෙදෙනාට නිලවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට නිර්දේශ වීමත් සමගින් මෙම ගැටලුව පැන නැගුණි. ඉන් විරෝධතා ගොනු වී තිබුණු සෙසු පාර්ශ්වයන් නිදොස් වූයෙන් ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන පාර්ශ්වයන්ට නිලවරණයට තරග කිරීමේ බාධාවක් නොවෙයි. මෙම විරෝධතා සියල්ල විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මගින් සිදු කෙරිණි. ඒ අනුව මෙකී පාර්ශ්වයන්හි නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට පාදක කාරණය වූයේ, 2005 වසරේදී මොහාන්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැරීමේ සිද්ධියකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසා සිටින්නේ නිලවරණය යොදාගත් පරිදි මෙම මස 21 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවය. යම් හෙයකින් අධිකරණය කිසියම් තීන්දුවක් ලබාදුනහොත් එම තීන්දුවට හිස නමන නමුත්, ක්‍රීඩා අමාත්‍යාංශය මෙම තීන්දු තීරණ ගැනීමේදී එය සහමුලින්ම නෛතිකව සිදුකළ බැවින් එය අධිකරණය ඉදිරියට ගියද, ඒ සඳහා නීතියෙන් සාධාරණයක් ඉටුකරගැනීමේ හැකියාව ක්‍රීඩා අමාත්‍යාංශය සතුව ඇතැයි ඔහු පසුගියදා මධ්‍ය හමුවේ ඉතා ස්ථාවර ස්වරයකින් පවසා සිටියේය. ෆයිසර් මුස්තාපා මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි අවදියේ පෙබරවාරි මස 9 වැනිදාට ප්‍රථම ක්‍රිකට් නිලවරණය පැවැත්විය යුතු බවට අයි.සී.සී. යේ නියමය විය. පෙබරවාරි 7 වැනිදාට නිලවරණයේ දින නියම වන්නේ ඒ අනුවය. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නැවතත් අයි.සී.සී. ය සමග සාකච්ඡාකොට එය 21 වැනිදා දක්වා කල් දමා ගැනීමට පියවර ගත්තේය. නියමිත දිනට නිලවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැවුම් ගෙරවුම් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් දෙසට වැටීමේ අවදානමක් පවතියි. එසේ වුවහොත් ඔවුන් හා සාකච්ඡා කොට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටුවක් කරා යළිත් වරක් ගමන් කරනවාද කියන කාරණය සම්බන්ධයෙන් තීරණයකට එළැඹිය යුතු වේ. එසේත් නැතිනම් නිලවරණයක් පැවැත්වෙනතුරු ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පත්කොට තිබෙන ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතාට එය ඉදිරියට කරගෙන යාම සඳහා අයි.සී.සී. ය සමගින් එකඟතාවයකට පැමිණිය යුතුය. කෙසේ නමුත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා පත්වීම් ලැබීමෙන් අනතුරුව මෙරට ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම වෙනුවෙන් අයී.සී.සී. යේ යහපත් ප්‍රතිචාරයක් වේනම් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම තරග තීරකවරයෙකු වූ රොෂාන් මහානාමට මෙරට ක්‍රිකට් පරිපාලනය භාර දීමේ අදහසක් පැවැති බවට එවකට මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. ඇතිව තිබෙන තත්ත්වය මත අතුරුකමිටුවක් කරා යාමේ අවස්ථාවක් උදා වුවහොත් එකී කාරණය සැබෑවක් වීමේ ඉඩක්ද පවතියි. නිලවරණයට ඉදිරිපත්වන ජයන්ත ධර්මදාස පාර්ශ්වයෙන් ඉදිරි ක්‍රිකට් පරිපාලනය කෙසේ කරන්නේදැයි මේ වන විටත් සැලසුම් සකස් කරමින් සිටියි. එම පාර්ශ්වයේ උප සභාපතිවරයෙකු ලෙස නිලවරණයට ඉදිරිපත්වන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇත්තේ ‘මම ක්‍රීඩකයන්ව බලා ගන්නවා. අනිත් කණ්ඩායම පරිපාලනයේ පැත්ත බලා ගනියි.’ යනුවෙනි. ලෝක කුසලානට පෙර ඉතිරි මාස දෙකේදී හරියට රටට ආදරය කරන කණ්ඩායමක් හැදීම සිය බලාපොරොත්තුව බවත් ඒ මහතා පවසා සිටියි. මීට අමතරව මෙවර ක්‍රිකට් නිලවරණය සජීවීව රටට පෙන්වන ලෙසත් රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. නමුත් මොහාන් ද සිල්වා සභාපති අපේක්‍ෂක ධුරයේ තබාගත් පාර්ශ්වය පවසා සිටින්නේ බහුතර ඡන්දය ඔවුන් සතුව දැනටමත් පවතින බවය. තත්ත්වය එසේ වුවත් මෙම පැටලිලි සහගත තත්ත්වය කඩිනමින් විසඳෙන්නේ නම්, මැයි මස ආරම්භ වෙන ක්‍රිකට් ලෝක කුසලාන වෙනුවෙන් ඉදිරි මාස දෙකක කාලයේදීවත් යම් දෙයක් කළ හැකි වන්නේය. ගයාෂාන් විතානආරච්චි
 

More News..