brand logo

ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 20 වෙනිදා

15 February 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තමන් විසින් භාරදුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ක්‍රිකට් බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම් ලබන 20 දා සලකා බලන බව අභියාචනාධිකරණය නියම කර ඇත. අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැදවනු ලැබු අතර මොහාන් ද සිල්වා මහතා විසින් ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා ඉදිරිපත් කළ බවත් රවීන් වික්‍රමරත්න මහතා විසින් එම ආයතනයේ උප සභාපති ධුරයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ බවත් පෙත්සම්වලින් සඳහන් වෙයි. නමුත් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දු කර ඇතැයි පවසන පෙත්සම්කරුවන් මෙසේ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බවත් ප්‍රතික්ෂේප කළ තමන්ගේ නාමයෝජනා යළි භාර ගෙන තමන්ට නිලවරණයට තරග කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට නියෝගයක් ‍ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කරන මෙන් ද එම පෙත්සම් වලින් මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු ඉල්ලීම් කර ඇත. එමෙන්ම මෙම පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම අත් හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද එම පෙත්සම් වලින් ඉල්ලා තඇති බව සඳහන් වෙයි. මෙම පෙත්සම් අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තම සේවාදායකයන් ගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසටය. ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 20 දක්වා කල් තබන බව අභියාචනාධිකරණය නියම කළේය.
 

More News..