brand logo

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර වූවන්ට නොමිලේ නීති ආධාර

16 March 2019

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙහි සිරවීම නිසා රටේ විවිධ දිසා අධිකරණයන්හි නඩු පැවරී සිටින කාන්තාවන් ඇතුළු 400 ක පමණ පිරිසක් වෙනුවෙන් නොමිලේ නීති ආධාර සැපයීමේ ස්වේච්ඡා සේවාවක් මාර්තු 21 වැනිදා පොළොන්නරුවේ හිඟුරක්ගොඩ දිසා අධිකරණයෙන් ආරම්භ කරන බව, ’නෙලුම් යාය පදනමේ’ වැඩසටහන් අධ්‍යක්ෂිකා, නීතිඥ රදිකා ගුණරත්න මෙනවිය ‘‘සති අග අරුණ’ට පැවසුවාය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ද ඇතුළුව ‘කාන්තාවන්ට විපත් ගෙන දෙන සියලු පීඩාකාරී ණය අහෝසි කරනු’ යන තේමාව යටතේ සංවිධානගත වී සිටින ගොවි සංවිධාන, ධීවර සංවිධාන, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (14 වැනිදා) කොළඹ දී කළ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී තිබේ. මෙම වැඩපිළිවෙළ සඳහා නීතිඥවරුන් විසි දෙනකු පමණ දැනටමත් කැමැත්ත පළකර ඇතැයි රදිකා ගුණරත්න නීතිඥවරිය සඳහන් කළාය. සාකච්ඡාවේදී හෙළි වී ඇති අන්දමට ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලියට හසුවීම නිසා දිසා අධිකරණවල නඩු පැවරී ඇති පුද්ගල සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය. එහෙත් දැනට තොරතුරු සොයාගෙන ඇත්තේ නඩු වැටුණ පුද්ගලයන් 400 ක් ගැන පමණකි. අනෙක් පිරිස ගැනද දැන් තොරතුරු සොයා යමින් සිටින බව වැඩසටහනේ සංවිධායකවරයා කීහ. ඇතැම් කාන්තාවන්ගේ ණය ලිපි ගොනු සැකසීමේදී ඔවුන්ගේ සැමියන් ලෙස වෙනත් පුද්ගලයන්ගේ නම් දමා ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත්වල කොපි ද අමුණා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද ඔවුහු පැවසූහ. දිසා අධිකරණවල පැවරී ඇති නඩු සංඛ්‍යාව කොපමණ වුවද, ඒවාට නොමිලයේ පෙනී සිටීම තම වැඩපිළිවෙළේ අපේක්ෂාව බවද නීතිඥ රදිකා ගුණරත්න මෙනවිය සඳහන් කළා ය. ඉකුත් බ්‍රහස්පතින්දා (14 වැනිදා) සවස ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් ගැමි ගොවි කාන්තාවන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් කැඳවුම්කරු වන කවුඩුල්ලේ එම්. කේ. පියතිස්ස, නීතිඥ රදිකා ගුණරත්න ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක්, මේ සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය සමගද සාකච්ඡා කර තිබේ. ශ්‍රීලංකා මහ බැංකුවේ උසස් නිලධාරින් සමග ඉක්මනින්ම සාකච්ඡාවක් සංවිධානය කර දෙන බවට කථානායකවරයා එහිදී පොරොන්දු වී ඇත. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..