brand logo

ක්ලේමෝ බෝම්බයක් සමග දකුණේ පාතාල කල්ලිය අතුරුදන්

09 February 2019

යළි හිස ඔසවන්නට වෙර දරන එල්ටීටීඊයට සහාය දෙන කොළඹ පාතාල කණ්ඩායමක් කිලිනොච්චියේ වට්ටකච්චිහි වළ දමා තිබූ දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බයක් රැගෙන අතුරුදන් වී ඇතැයි හෙළි වී ඇත. මෙම දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බය දකුණේ විනාශයක් සඳහා රැගෙන ගියේද, එසේත් නැතිනම් කොටින්ගේ ආරක්ෂිත නිවස්නයක සඟවන්නට රැගෙන ගියේද යන්න පිළිබඳ බුද්ධි අංශ පුළුල් විමර්ශනයක් අරඹා ඇත. දකුණේ පාතාලය සමග සම්බන්ධව සිටි චේන්ද්‍රන් හා කාර්තික් යන එල්ටීටීඊ ප්‍රබලයන් දෙදෙනා සමග සබඳකම් පැවැත් වූ කිලිනොච්චියේ, වට්ටකච්චි හි කාන්තාවක් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම දුරස්ථ පාලක ක්ලේමෝ බෝම්බය ගැන හෙළි වී ඇත. තමා අත්අඩංගුවට ගැනීමට කලින් දිනයේ වේන්ද්‍රන් විසින් එ්වා පාතාලයට සම්බන්ධ දෙදෙනකු නිවසේ වැට ළඟ වළ දමා තිබූ ක්ලේමෝ බෝම්බය ගොඩගෙන රැගෙන ගිය බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ඇත. මෙම කාන්තාව එම දෙදෙනාට රාත්‍රියේ නවාතැන් දී කෑම බීම පවා ලබා දී ඇතැයි හෙළිවන බව බුද්ධි අංශ කියයි. පුලියන්කුලමෙන් කොටින්ගේ අවි ආයුධ හමුවීමත් සමග හිටපු කොටි ත්‍රස්තයකු වන කාර්තික් අත්අඩංගුවට ගත් අතර ඉන් පසුව වේන්ද්‍රන් හෙවත් අප්පන් නමැති කොළඹ පාතාලය සමග සබඳතා පවත්වන එල්ටීටීඊ මුහුදු කොටි අංශයේ ප්‍රබලයා අතුරුදන් වී තිබිණි. වේන්ද්‍රන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී පාතාලය සමග සබඳතා අරඹා ඇති බවත්, දැනටමත් උතුරේ ත්‍රස්ත ක්‍රියා මෙන්ම දකුණේ මිනිස් ඝාතනවලටද වේන්ද්‍රන් ඍජුවම කණ්ඩායම් යොදවා ඇති බවත් හෙළි වී ඇත. වේන්ද්‍රන් පාතාල කණ්ඩායම් සමග ආරක්ෂාව සපයා ගනිමින් තැනින් තැන සැඟවී සිටින අතර ඉන්දියාවේ සිටින කොටි නායකයන්ගේ නියෝග මත ක්‍රියාත්මක වන බවත් හෙළි වී ඇත. ඔඩ්ඩුසුඩාන්හිදී පසුගිය වසරේ හෙළි වූ කොටින්ගේ දිනේෂ් කණ්ඩායම විසින් වන්නියේ සඟවා තිබූ ස්නයිපර් වර්ගයේ තුවක්කු දෙකක් ගොඩගෙන ප්‍රභූ ඝාතන සඳහා රැගෙන ගිය බවට හෙළි වූ අතර එම අවි දෙකින් එකකට වූ දෙයක් තවමත් හෙළි වී නොමැත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..